යාපනයේ මැරයෝ තිදෙනෙක් පොලිස් දැලේ…

දිනසේන රතුගමගේ –

යාපනයට හදිසියේම කඩා වැදී ජන ජීවිතය ව්‍යාකූල කළ මැර කණ්ඩායමේ සාමාජිකයින් තුන් දෙනෙකු කඩු කිණිසි හා ඔවුන් විසින් සාදා ගන්නා ලද ආයුධ කීපයක් සමග ඊයේ ( 4 ) යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මැර කණ්ඩායම යාපනයේ පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදු කොට වාහන කීපයකටද නිවාස කීපයකටද හානි සිදු කළ අතර ඔවුන් විසින් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ කඩු හතරක් මීට පෙර පොලීසිය විසින් සොයගෙන තිබුණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනාගෙන් ලැබී ඇති තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් දහතුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සිටින බව පවසන පොලීසිය මේ මැර කණ්ඩායම යාපනයේ කාලයක් ක්‍රියාත්මක වූ ආවා කල්ලියෙන් බිදී ගොස් පිහිටුවා ගන්නා ලද අජිත් කල්ලියේ සාමාජිකයින් පිරිසක් බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසීය.

යාපනය සෙල්වානගර් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු, කොන්ඩාවිලහි 25 හැවිරිදි පුද්ගලයෙකු සහ කොකුවිල් වරණී ප්‍රදේශයේ 19 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනා මේම සියලුම ප්‍රහාරයන් සිදුකිරීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය විසින් හඳුණාගෙන තිබේ.

සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි 6 ක පුද්ගලයින් 16 දෙනෙකු සිද්ධිය වූ දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට පාපොච්චාරණය කර තිබේ.

මැරයින් විසින් භාවිත කළ කඩු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



උතුරු ප්‍රදේශය බාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ කරන මෙහෙයැවීම මත මෙම මැර කණ්ඩායම සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version