යළිත් ප්‍රදේශ රැසකට ස්වභාවික ආපදා ඇතිවන ලකුණු

SAMSUNG CAMERA PICTURES

තුෂාරී කළුබෝවිල-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් ප්‍රදේශ රැසකට යළිත් තද වැසි, ජල ගැලීම්, නායයාම්, කණ්ඩි කඩා වැටීම්, තද සුළං වැනි ආපදාවන් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම තත්ත්වය ලබන 29 වැනි සිකුරාදා දක්වා පැවතිය හැකි බව ඔවුහු අවධාරණය කරති.
ගත වූ පැය 24 ඇතුළත දැරණියගල ප්‍රදේශයට මිලිමීටර් 221.5ක දැඩි වර්ෂාපතනයක් ඇති වී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ස්ථාන බොහෝමයක හා කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, කලවාන, ඕපනායක, බලන්ගොඩ, පැල්මඩුල්ල, නිව්තිගල ද කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැරණියගල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට ද නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුවකෝරලය ද නායයාම් හා කණ්ඩි කඩා වැටීමේ අවධානම දැඩිව ප්‍රදේශ බැවින් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් විමසිලිමත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
ගංගා ද්‍රෝණි ආශ්‍රිතව පහත් බිම්වල ජල ගැලීම් ඇති විය හැකි බැවින් විශේෂයෙන්ම මී ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, ඌරුබොකු ඔය මෙන් ම කැලණි, කළු, ගිං, නිල්වලා හා බෙන්තර යන ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය අඟවයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ ද රළු වන බැවින් ධීවර හා නාවික කටයුතු අවධානම් බවට ද අනතුරු ඇඟවේ.
පසු ගිය දින කිහිපයේදී ඇති වූ ආපදාවන් හේතුවෙන් පුද්ගලයින් 24244 දෙනෙකු පීඩාවට පත් වූ අතර නිවාස 1979ක් හානියට පත් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

Exit mobile version