සමගි ජන බලවේගයේ සහෝදර මන්ත්‍රීවරුන් මන්ත්‍රීකම අහිමි වී ඇමති ධූර අත්හැර යන මනුෂ සහ හරීන්ට සිදුවුන දේ සම්බන්ධව සතුටුවනු ඇති නමුත් තමන් පිටවී යන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පැය 24 වැඩ කිරීමේ අවස්ථාව ලබාගෙන බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අද (09) පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණ තින්දුව අනුව පක්ෂ සාමාජිකත්වය අහිමිවීමත් සමග අහෝසිවන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්ගෙන් ඉවත්වී කරන මුල්ම මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.
ඔහු පැහැදිලි කළ ප්‍රකාශ කළේ තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්වීම සඳහා හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගනු ලැබුවේ සජිත් ප්‍රේමදාස වෙත බලය ලබාදී වැටුණු රට ගොඩගැනීම සඳහා ඔහුව වගකීම් බාරගැනීමට පොළඹවා ගැනීම සඳහා දින පහක් තිස්සේ කළ සාකච්ඡාවලින් පසුව බවය.
තමන් සමග එම සාකච්ඡාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවක් සිටි නමුත් කොන්ද කෙලින් තබාගෙන එළියට බහින්නට හැකි වූයේ තමන්ටත් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාටත් පමණක් බව ඔහු කීවේය.
අතිශය අසීරුවට පත් වී තිබුණු රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් හෘදය සාක්ෂියට අනුව කටයුතු කර අවසානයේ දී වැඩක් කර පෙන්වා මේ ආකාරයෙන් සමු ගැනීමට ලැබීම තමන් ලද වාසනාවක් බවද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
මම මන්ත්‍රී උනේ සජබෙ ජාතික ලයිස්තුවෙන්. එතුමාට ස්තුතියි මට මන්ත්‍රී ධූරය ලබා දීම ගැන. අධිකරණයට කිසිම චෝදනාවක් කරන්නෙ නෑ. මේ රටේ නීතියක් තියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වම් අතයි දකුණු අතයි ගලවනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා නිහඬව හිටියා. අධිකරණයට ඇඟිලි ගැහුවෙ නෑ… අන්න ඒ රටට කැමති නැති මිනිස්සු ඉන්නවා නම් ඒකට කරන්න දෙයක් නෑ,
රනිල් වික්‍රමසිංහ මහත්මයා බලපෑම් කරන්න ඕන මුලින්ම ඔහු වෙනුවෙන් ගැලවුන සහ මේ රටේ සාර්ථකම අමාත්‍යාංශ දෙකක් කළ දෙන්නව ගැලවෙද්දි.
ඊයේ දවසේ මට මේක දේ මෙහෙම වෙයි කියලා හිතුනා. මම දරුවො දෙන්නත් එක්ක පිලර් හවුස් එකට ගිහින් කොත්තුවක් කාලා තේ එකක් බීලා ආවා.
අපි අමාරුම තින්දු ගන්න වෙලාවෙදි අපි දෙන්නා කතා වුනේ මචං, මාස කීයක් මේක කරයි ද කියලා. අවුරුදු දෙකක් මේ වැඩසටහනෙන් දැනෙන වෙනසක් කරලා නම්බු පිටින් කොන්ද කෙලින් තියන් මෙතනින් එළියට යනවා.”
“සජබෙ සමහර අය සතුටු වේවි හරි වැඩක් කළා කියලා. නමුත් අද ඉඳන් මනුෂයි මමයි නිදහස් කරලා තියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් පැය 24ම වැඩ කරන්න නිදහස් කරලා දීලා තියනවා.”
මම අද එක දෙයක් නිහතමානිව කියනවා. අපි එක්ක තව කණ්ඩායමක් හිටියා. අපි දෙන්නට විතරයි පුලුවන් වුනේ කොන්ද කෙළින් තියාගෙන එළියට එන්න. අපි ඉදිරියට ඇවිත් සටන කළා. තව කීප දෙනෙක් අපි පස්සෙන් ඇවිත් උදව් කළා. එහෙම නැතිනම් රනිල් වික්‍රමසිංහ මහත්මයට 134ක් ඡන්ද ලැබෙන්නේ නෑ පාර්ලිමේන්තුවෙ.
මම මෙතනට එද්දි අද කල්පනා කළේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇයි වගකීම බාරගත්තෙ නැත්තේ කියලා. අභියෝගය භාරගත්තේ නැත්තේ මේකයි. අභියෝගය භාර අරගෙන රට හදලා වෙනස් කරලා එනකොට අවුරුදු දෙකකින් ඡන්දයක් එනවා. ඒ ඡන්දය එනකොට මිනිස්සු වෙන කෙනෙක් හොයනවා නායකයා කරන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා බැලුවේ ඒ වෙලාවෙ මිනිස්සු ගැන නෙමෙයි. ඒ වෙලාවේ හිරවෙලා හිටපු මිනිස්සු ගැන නෙමෙයි.
ඒ නිසා මම අද නිහතමානීව ආඩම්බර වෙනවා මම ඉන්න තැන ගැන. මම ගත්තු තීන්දුව අනුව හැමෝම කිව්වෙ උඹලා යන්නේ සුවිසයිඩ් මිෂන් එකකට කියලා. උඹලා උඹලගේ ජීවිතය සහ දේශපාලන ජීවිතය විනාශ කරගන්න හදනවා කියලා. අදත් කියනවා මුන් දෙන්නා තව අවුරුදු දෙකක් ඉවසුවා නම් කියලා.
මම වැඳලා කියනවා මම පට්ට සතුටින් යන්නේ.
ඒකට හේතුව අද සංචාරකයො ඇවිත් බිලියන 5ක් මුදල් සංචාරක ක්ෂේත්‍රයට ගෙනත් තියනවා. මනුෂ ඊට වඩා ගෙනත් තියනවා. හැම අමාත්‍යාංශයකටම අභියොගයක් තිබ්බා. ලක්ෂ 20ක මිනිස්සුන්ට උරුමය හිමිකම දුන්නා.
මම විශ්වාස කරනවා දේශපාලනය කියන්නෙ කටු ඔටුන්නක් කියලා. ඒක දාගන්න විදිහක් තියෙන්න ඕන. අපි කරන්න ඕන දේ හරියටම කරලා තමයි එලියට බහින්නේ.
අවසානයේ මම කාර්යාලයට ගිහින් හොඳම සංචාරක මණ්ඩලයේ සම්මානය අපේ ලේකම් තුමාගෙ අතට දුන්නා. දේශපාලකයො තාවකාලිකව ඉන්නේ. අපි නිලධාරීන් හරියට වැඩ කරන්න ඕන කියලා මම ඔහුට කිව්වා. කියලා ඔවුන් එක්ක කතා කරලා ආවා.
අද අභියෝග බාරගත්තු නැති මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දවසක්. හෘද සාක්ෂියක් තියන මිනිස්සුන්ට මන්ත්‍රීකම නැතිවෙලා කියලා. අපි අභියෝගය භාරගත්තේ හෘද සාක්ෂිය වෙනුවෙන්.
සජිත් එනවා කියලා පළවෙනි පෝස්ටරය ගැහුවෙ මම. මම වත් මනුෂවත් ඇමතිකම් ඉල්ලුවෙ නෑ. මෙතෙක් කියපු නැති කතාවක් අද කියන්නම්.
අපි ඉල්ලුවෙ සජිත්ට අභියෝගය බාරගන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා එයා ගත්තොත් එයාට කවුරුත් සහයෝගය දෙන්නෙ නෑ. සහයෝගය දෙන්න සල්ලි නෑ. අභියෝගය ගත්තොත් ඉදිරි මැතිවරණය දිනාගන්න බැරි වේවි කියලා. අපි ඊට පස්සේ කිව්වා හරි.. එහෙමනම් රනිල් වික්‍රමසිංහ බාරගන්නවනෙ. මමයි මනුෂයි එක්ක ඔයා විශ්වාසම කරන තුන් දෙනෙක් හතර දෙනෙක් අරින්න. ඇරලා පක්ෂයක් විදිහට රටක් විදිහට උදවු කරමු කියලා. ඒකටත් කැමති වුනේ නෑ.
මම අද සතුටු වෙනවා. මේ විදිහට එළියට බැහැලා යන්න ලැබුන එක ගැන. ඒක වාසනාවක්. පට්ට වාසනාවක්. සජබේ හදන්න අපි කර තියනකොට දැන් ඔය වැඩ දාන තෝරු මෝරු එකෙක්වත් නෑ එතකොට. සජිත් ප්‍රේමදාස බදුල්ලෙ රැස්වීමට ගෙන්නද්දි එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති. එතුමා මගෙන් ඇහුවා කොල් කරලා අයිසෙ වයි ආර් යූ ඩුයින් දිස් කියලා.
තාත්තා නැති වෙලා දවස් දෙකයි සජිත් ප්‍රේමදාස මහත්මයට අපේක්ෂකත්වය ලැබෙනකොට. රැස්වීම් 154ක් කළා. එතුමා තමයි අපි ජනාධිපති කරන්න හැදුවෙ අපි. එහෙම කරපු කෙනෙක් විදිහට එතුමා මේ පාර ජනාධිපති වුනත් මට දුකක් නෑ. එතුමාත් එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් එතුමාගේ විශ්වාසය සහ අභියෝග භාරගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මා තුළ තියනවා.
මමත් මනුෂත් හෘද සාක්ෂියට අනුව තීන්දුවක් අරන් වැඩක් කරලා පෙන්නලා එළියට බැහැල යනවා.
යන්න අවසරයි. මෙහෙම ඇරපු එක හොඳයි.. දැන් නම් ඉතින් ගේමෙම තමයි.
සහයෝගය දිපු සියලු දෙනාට ස්තුතියි. සුවිසයිඩ් මිෂන් එකක් කරගත්තේ. ඔව්…මිනිස්සු බේරලා දීලා අපි සුවිසයිඩ් කරගත්තා. දැන් ජනාධිපතිතුමා වගේම මමත් ස්වාධීනයි. අපි දේශපාලනික වශයෙන් අලුත් ගමනක් යනවා





