එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කර තිබේ.
එක්සත් රාජධානියේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට අනුව ජූලි 24 සිට ශ්‍රී ලංකාව, අත්‍යවශ්‍ය නොවන ජාත්‍යන්තර සංචාරයන්ට එරෙහිව FCO උපදේශනයෙන් නිදහස් වේ. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවදානම් පිළිබඳ නවතම තක්සේරු කිරීම මත පදනම්ව මෙම තීරණය ගත් බව එම කාර්යාලය පවසයි.
සති කිහිපයකට පෙර එක්සත් රාජධානිය රටවල් 67 ක් සඳහා සංචාරක තහනම ඉවත් කර තිබුණි.
එම ලැයිස්තුවට ආසියා පැසිෆික් කලාපයේ මැලේසියාව සහ තායිලන්තය වැනි ප්‍රධාන සංචාරක ගමනාන්තයන් මෙන්ම සිංගප්පූරුව සහ හොංකොං වැනි මූල්‍ය කේන්ද්‍රස්ථානද ඇතුළත් විය.
එහෙත් මෙරට තුළ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කර තිබියදීත්, ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් නොවීය.
කොවිඩ්-19 වසංගත අවධිය පාලනය කිරීමට සමත් වූ රටවල් කිහිපයෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය සැලකේ.
එක්සත් රාජධානියේ නිලධාරීන් සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරීමකින් කියසිටියේ කටුනායක ගුවන්තොටුපළ ජාත්‍යන්තර සංචාර සඳහා වසා දමා ඇති බැවින් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් නොවන බවයි.
උපදේශනය නිරන්තරයෙන් යාවත්කාලීන සමාලෝචනයට ලක්ව ඇති බව ද එහි සඳහන් විය.
කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, “සංචාරක උපදෙස්වල වෙනස්කම් සලකා බැලීමේ ක්‍රියාවලිය එම රටට ඇතුළුවීමේ හැකියාව, ප්‍රවාහන විකල්ප සහ නිරෝධායන කටයුතු ඇතුළු පුළුල් පරාසයක සාධක සැලකිල්ලට ගන්න බවයි. එම කොන්දේසි සපුරන වෙනත් රටවල් ද නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය බලාපොරොත්තු වන” බවය.