දිනසේන රතුගමගේ-
මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලේ පුරාවිද්‍යා ස්ථානයේ දැනට ඉදිකොට ඇති ගොඩනැගිලිවලට අමතරව ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම මුලතිව් අධිකරණය මගින් 10 දා තහනම් කොට තිබේ.
එසේම මේ ස්ථානය ආගමික වතාවත් සිදුකිරීමට හැර වෙනත් කිසිදු කාර්යයක් සදහා යොදා නොගන්නා ලෙසටද ඒ ස්ථානයේ ඇති කිසිම ගොඩනැගිල්ලකට වස්තුවකට හානි නොකරණ ලෙසද මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මේ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් හින්දු වැසියන් හා පුරාවිද්‍යා නිලධාරීන් අතර ඇතිවී තිබෙන ආරවුල පළාතේ සාමයට බාධාවක් විය හැකි බැවින් කුරුදුමලේ පුරා විද්‍යා ස්ථානය අසල පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසද මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා මුලතිව් පොලීසියට නියෝග කොට තිබේ.
මුලතිව් කුරුදුමලේ පුරාවිද්‍යා ස්ථානය අසල බුදුමැදුරක් ඉදිකිරීම සදහා 2018 සැප්තැම්බර් පලවෙනිදා බුදු පිළිමයක් රැගෙන ගිය අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ටී.රවිහරන් හිටපු මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් ඊට විරෝධය පලකොට බුදු පිළිමය රැගෙන ගිය පිරිස සමග ගැටුමක් ඇති කර ගන්නා ලදී.
අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ ස්ථානයේ බෞද්ධ ජනතාව නොමැති නිසා බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් යැයිද මේ ස්ථානය සිංහල බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් නොව හින්දු ජනතාවගේ ආගමික ස්ථානයක් යැයිද පවසමින් එම ස්ථානය ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා මුලතිව් අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දැනට ඉදිරිපත් වී ඇති තොරතුරු වලට අනුව මින් ඉදිරියට මේ ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදි නොකරණ ලෙසටත් ආගමික වතාවත් වලට පමණක් ඉඩදිය හැකි බවටත් නියෝගයක් නිකුත් කොට තිබේ.
මෙම නඩුවේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් වෙනුවෙන් නීතිඥ කනගරත්නම් සුභාෂ් පෙනීසිටි අතර ඊට වග උත්තර බැදීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් පෙනී සිටියහ.