මිනීමරු ලීසිං සමාගමේ හිමිකරු රැකගන්න දැමූ පොලිස් ඩීල් හෙළිවන ලකුණු!

නීතිය නවාගන්න හිමිකරු ඉහළම පොලිස් නිලධාරීන් සමග කළ ගනුදෙනු ගැන බුද්ධි අංශ වාර්තා කරයි...

ජනාධිපතිවරයා විසින් ජනතාවට ලබා දුන් කල්බදු සහන නොසලකා තම සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් බලහත්කාරයෙන්  පැහැර ගැනීම සම්බන්ධව එම සමාගමේ වගකිවයුත්තන් හමුවී කතා කරන්නට ගිය අවස්ථාවේ එම කල්බදු සමාගමේ මැරයන් විසින් පහර දී ඝාතනය කළ ලංකා ස්යං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන   ඝාතනය  පිටුපස එම කල්බදු සමාගමේ හිමිකරු සිටී දැයි සෙවීමට පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

බුද්ධි අංශ වාර්තා කරන්නේ කල්බදු සමාගමට සේවය කරන වාහන පැහැරගන්නන් හා සේවකයන් මෙසේ විමසීමකින් තොරව පාරිභෝගිකයන්ට පහර දෙන්නේ එහි හිමිකරු ගේ උපදෙස් මත බවත්,  එවැනි අවස්ථාවල පහර දෙනු ලබන අයට හිමිකරුගේ රැකවරණය  ලැබෙන නිසා බවත්ය. මෙම ලීසිං සමාගම හිමිකරුට ඉහළ පොලිස් නිලධාරීන් සමග සම්බන්ධකම් ඇති බැවින් පහරකෑමට ලක්වූ පාරිභෝගිකයින්ට රටේ පොදු නීතියට අදාලව පොලිසියෙන් ලැබිය යුතු සාධාරණ රැකවරණය   ලැබී නැති බව ද බුද්ධි අංශ විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

මෙවර මරණයක් සිදුවූ බැවින් ද ඝාතනයට ලක්වූයේ සමාජයේ නිතර කථාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වන බැවින් ද පොලීසිය ඊට අවධානය යොමු කළා මිස මෙයට පෙර මෙවැනි පහරදීම්වලට ලක්ව ඇති පුද්ගලයින්ගේ පැමිණිලි පවා පොලීසියෙන් සටහන් කර නොගන්නා බවට තොරතුරු ඇතැයි  බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. මෙතෙක් පොලීසිය එම කල්බදු සමාගමේ හිමිකරු සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නැත්තේද ඔහු සමග ඇති ඉහළ පොලිස් සම්බන්ධකම නිසා බවද බුද්ධි අංශ සඳහන් කරයි.


සුනිල් ජයවර්ධන ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 08 දෙනාගෙන් 06 දෙනෙක්ම කල්බදු සමාගමේ සේවකයින් බවත් සෙසු දෙදෙනා සමාගම වෙනුවෙන් වාහන පැහැර ගන්නන්  බවත් වාර්තා වේ. ඔවුන්ට රාගිරිය, මහරගම සහ අතුරුගිරියේ පාතාල කල්ලි සමග සම්බන්ධකම් ඇති බව ද හෙළි වී ඇත. ඔවුන්ගෙන් 06 දෙනෙක්ම බීමතින් සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ එම ප්‍රහාරය අහඹු ලෙස සිදුව ඇති බවකි. එහෙත් බුද්ධි අංශ පැත්තෙන් කියැවෙන්නේ සැළසුම් සහගතව එම ප්‍රහාරය එල්ලකර තිබෙන බවකි. ඊට හේතුවී ඇත්තේ මෙම සමාගම මහා බැංකුවේ ලියාපදිංචියකින් තොරව ජනතාව රවටමින් මහා බැංකුවේ පොලී අනුපාත පවා අභිබවා පොලී අයකරන බවට සුනිල් ජයවර්ධන  විසින් දිගින් දිගටම චෝදනා කිරීමය. එසේම සුනිල් ජයවර්ධන  මෙම කල්බදු සමාගමට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබීම ගැනද සුනිල් ජයවර්ධන  සම්බන්ධයෙන් එහි හිමිකරු  දැඩි වෛරයකින් සිට ඇති බව හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුද්ධි අංශ මේ වනවිට නිරීක්ෂණය කර ඇත්තේ පොලිසිය විසින් පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළත්  ඔවුන්ව ඒ මිනී මැරුමට පෙළඹ වූ පුද්ගලයාව සුපුරුදු ලෙස තව දුරටත් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවය.

 

Exit mobile version