ශ්‍රියානි විජේසිංහ –
විශේෂිත රෝගීන් සඳහා අනිවාර්යයෙන් ලබා දිය යුතු හෝමෝන එන්නත් මාස දෙකක පමණ කාලයක සිට ගාල්ල කරාපිටිය රෝහලේ නොමැති වීම හේතුවෙන් රෝගීන් මහත් අසීරුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
උපත්පත්තියෙන් හෝමෝන ඌණතාවන්ගෙන් පෙලෙන පුද්ගලයින් මෙය ලබාදෙන අතර දැනට මාස දෙකක පමණ කාලයක සිට හෝමෝන නොමැති වීමෙන් රෝගීහු මහත් අසීරුවකට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම හෝමෝන් එන්නතක් පෞද්ගලකිව මිලදි ගන්නේ නම් රුපියල් 2000 – 3000 අතර මිලක් වන බවත් ඇතැම් රෝගීන් පිටතින් ගෙන එය එන්නත් කර ගන්නා බවත් එම ප්‍රකාශකයා ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මාසයකට රෝගින් 100ක් පමණ හෝමෝන එන්නත් කර ගැනීමට සායනයට පැමිණෙන නමුත් එම රෝගීන්ට හෝමෝන එන්නත් නොමැතිව නැවත හිස් අතින් නිවෙස්බලා යාමට සිදුවන බවද පැවසේ.
මොළයේ සැත්කමකින් පිටියුටරි ග්‍රන්ථිය ඉවත් කර ඇති පුද්ගලයින්ගේ , වයස්ගත වීම හේතුවෙන් හෝමෝන නිෂ්පාදනය නොවන අවස්ථාවන් වලදී සහ ඇතැම් පුද්ගලයින්ට කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් උපතින්ම හෝමෝන නිපදවිම ඇනහිටින අවස්ථාවන් වලදී හෝමෝන පිටතින් ලබා දීමක් සිදුකරනු ලැබේ.







