ඉදුනිල් කහටපිටිය –
මහනුවර තළාතුඔය පොලීසියට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබූ ලැප්ටොප් පරිගණයකයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණත් සති දෙකකට වැඩි කාලයක් ගතවන තෙක්ම එය සොයා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන්ට නොහැකි වීම පිළිබඳව එම පොලීසියේ නිලධාරිහූ චෝදනා කරති.
මෙම ලැප්ටොප් පරගණකය රැගෙන ගිය බවට එහි කලක් සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ට චෝදනා එල්ල වන අතර එය ගෙනවිත් භාර දෙන ලෙස කළ දැනුම් දීමට ඔහු මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
පසුගිය 12 දින පොලිස් අධිකාරිවරියක මෙම පොලිස් ස්ථානයේ පරීක්ෂාවකට ගොස් ඇත. එම අවස්ථාවේ මෙම ලැප්ටොප් පරිගණකය අස්ථාන ගතවීම සම්බන්ධ ප්රශ්නය කරළියට පැමිණ තිබේ.
ඒ පිළිබඳ කළ වැඩිදුර කරුණු විමසීමේ දී හිටපු පොලිස් ස්ථානාධිපති අරුණ ක්‍රිෂාන්ත එය රැගෙන ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.
පොලීසියට අදාළ ලැප්ටොප් පරිගණකය යළි තළාතුඔය පොලීසියට බාරදෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු මේ වනතෙක් එය බාර දී නොමැති බව වාර්තා වේ.
මේ සම්බන්ධව කළ විමසීමක දී ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසුවේ ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරියා රාජකාරි අවශ්‍යතාවක් සඳහා ලොග් සටහනක් යොදා මෙම ලැප්ටොප් පරිගණකය රැගෙන ගියේ ද යන්න සම්බන්ධව සොයා බලන බවයි.
මෙම ලැප්ටොප් පරිගණකය රැගෙන ගියේ කෙසේද යන්න සම්බන්ධව පරික්ෂණ පැවැත්වේ.







