මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුවේ පෞද්ගලික සහල් මෝල් ව්‍යාපාරිකයන්ගේ සහල් නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යන පරිදි නවීන තාක්ෂණයෙන් යුත් වී මෝලක් ඉදිරි වර්ෂය ඇතුළත පොළොන්නරුවේ ඉදිකිරීමට කටයුතු කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන් බව සමූපකාර අමාත්‍යාංශ ලේකම් එල්.පී. මදනායක පැවසීය.
ඒ සඳහා ආයෝජකයින් ඉදිරිපත් වී ඇති බවත්, පොළොන්නරුවේ ඊට අදාළ ඉඩම හඳුනාගෙන තිබෙන බවත් ලේකම්වරයා කීවේය.
පොළොන්නරුව ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (21) සවස පැවැති මෙවර මහ කන්නයේ රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදාළ බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ගොවීන්ගේ වී මිලදී ගැනීමට සමූපකාර හරහා සිදුවන බවත්, රජය සමූපකාරවලට වී මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබාදෙමින්
සමූපකාරය තවදුරටත් ශක්තිමත් කර ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් හෙතම පැවසීය.
ඒ අනුව රජය ගොවියාගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළේ කොටස්කරුවෙක් වන බවත්, එහිදී පෞද්ගලික වෙළෙඳුන් සමග තරගකාරයකින්, යුක්ක්තව ගොවීන්ගේ වී මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම කීය.
ගොවියාගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට රජය මැදිහත් වීමෙන් පොළොන්නරුවේ මහා පරිමාණ වී ව්‍යාපාරිකයින් ගොවියාගේ වී උපක්‍රමශීලීව, අඩු මිලට ලබාගැනීමේ ක්‍රමවේදයන් අවමවන බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට, ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස්, පොළොන්නරු දිස්ත්‍රික් සමූපකාර ප්‍රධානීන්, මෙන්ම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට දායක වන නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.







