මහාචාර්ය නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සිනෝවැක් නිසාද?

Nilika-Malavige

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබා දෙන එන්නත් පිළිබඳව ඇගයීම් සිදු කොට ඒවා අනුමත කරන විශේෂඥ කමිටුවේ ආරම්භක සාමාජිකාවක ව සිටි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ හදිසියේ එම කමිටුවෙන් ඉල්ලා අස්වීම පසුපස ශ්‍රි ලංකාවේ භාවිතය සඳහා අනුමත කිරීමට ඉදිරිපත් කොට ඇති චීනයේ නිෂ්පාදිත සිනෝවැක් (Sinovac) එන්නත බලපෑවේද යන්න පිළිබඳව විද්වත්තු මත පළ කරති.

ඇය මේ පිළිබඳව නිශ්චිත හේතුවක් ප්‍රකාශ කොට නොතිබුණද මෙම සිනොවැක් එන්නත අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඇය ඇතුළු විශේෂඥ කමිටුවට එම එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත සහ වාර්තා ලබා දී ඇති පසුබිමක් තුළ ඇය එය අනුමත කිරීමෙන් තොරව ඉල්ලා අස්වීමට තීරණය කිරීම මෙම මතයට හේතු වී තිබේ.

චීන බලපෑම

සිනෝවැක් එන්නත කොවිඩ් වෛරසයේ දැනට ලොව පුරා ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය වැනි නව කොවිඩ් වෛරස ප්‍රභේදවලට එරෙහිව දක්වන සාර්ථකත්වය පිළිබඳව දත්ත නොමැති වීම යන පසුබිම තුළ එය අනුමත කිරීමේ ගැටලු පැවතීමත් මේ අතරේ රජය සිනෝවැක් සමාගම සමඟ මෙරට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදාළ කටයුතු සිදු කරමින් තිබිමත් ඇතුළු කරුණු ගණනාවක් මෙහිදි සැලකිය යුතු බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිනෝවැක් එන්නත චීනයේ සිනෝවැක් බයෝටෙක් ලිමිටඩ් නම් පෞද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ අනුමැතිය සඳහා මෙම වසරේ මුල කාලයේදීම ඉදිරිපත් කළ එන්නතක් වූයේ මෙම සිනෝවැක් එන්නතයි. මෙම එන්නත වහා ලියාපදිංචි කරවන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද එම එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳ ව ඒ වනවිට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන් අපොහොසත් වූ නිසා එම එන්නත ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ද කල් දමන ලදී.

කෙසේ වුවද මෙම කාලය අතරතුර කොවිෂීල්ඩ්, ස්පුට්නික් එන්නත්වල පර්යේෂණ දත්ත විශ්ලේෂණයෙන් ඒවා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළේ ඒවාට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතියද ලැබෙන්නට පෙරය. මේ අතර චීනයෙන් ඉදිරිපත් කෙරුණු සිනෝපාම් එන්නතද ප්‍රමාණවත් පර්යේෂණ දත්ත ඉදිරිපත් කර නොතිබීම මත ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ පසුබිම තුළ සිනොපාම් එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ සාමාජිකයන් ගණනාවක් හදිසියේ ඉවත් කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පියවර ගන්නා ලදී. මේ වනවිට එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ගණනාවක් ඉවත් වී ඇත. වෛද්‍ය නිලීකා මලවිගේ මෙන්ම එම කමිටුවේ සාමාජිකත්වය දැරූ වෛද්‍ය පත්මේෂ්වරම් ද මීට සති දෙකකට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබිණි.

කාර්යක්ෂමතාවය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට තම පර්යේෂණවලට ලක් වූ එන්නත්වලින් කාර්යක්ෂමතාව සියයට 50 ඉක්මවන එන්නත් අනුමත කරන තත්ත්වයක හිඳී. බ්‍රසීලයේ ‍වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමට අනුව පසුගියදා සිනෝවැක් එන්නත අනුමත කර ඇත්තේ එහි කාර්යක්ෂමතාව සියයට 50.6ක් ලෙසිනි.

මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට වෛද්‍ය පර්යේෂකයන් අතර පවතින මතවාදය වන්නේ එය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හෝ එහි උප ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්ලස් වැනි වෛරස කෙරෙහි සාර්ථක ලෙස ක්‍රියාකරන බව තහවුරු කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බවය.

එසේ වුවද මේ වනවිට ශ්‍රි ලංකාවේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පවා එකඟතාවකට පැමිණ ඇති මෙම එන්නත අනුමත කිරීම විද්‍යාත්මක කරුණු මත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම මහාචාර්යවරියට යම් බලපෑමක් එල්ල වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව ලංකාසරට කරුණු අනාවරණය කළ විශ්වාසදායී ආරංචි මාර්ගයක් සඳහන් කළේය.


Exit mobile version