මහවැලියෙන් දුන් චීන සැමන් නිසා ලග්ගල වැසියෝ ලෙඩ වෙති…

බෙදූ සැමන් ටින් ආපසු එකතු කරයි

කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමිව නව ජනාවාසකරණයට ලක් කළ වැසියන්ට මාසිකව ලැබෙන වියළි සලාක සමඟ බෙදා හළ ටින් මාලු භාවිතයට නුසුදුසු ඒවා බවත් ඒවා ආහාරයට ගැනීමෙන් එම  ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනකුම රෝගාතුර වී ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න  පැවසුවාය. මහවැලි අධිකාරිය මඟින් බෙදා හළ මෙම ටින් මාලු යළිත් එම පුද්ගලයන්ගෙන් එකතු කර ගැනීමටද මහවැලි අධිකාරිය කටයුතු කර ඇති අතර මෙලෙස භාවිතයට නුසුදුසු ටින් මාලු මෙරට පරිභෝජනයට පැමිණි ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බව මන්ත්‍රිවරිය සඳහන් කළාය.

 ඇය සඳහන් කළේ මේ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අනාවරණය කළ අතර චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ පිළිබඳව සොයා බලන බවට ප්‍රතිචාර දැක්වූ බවය. චීනයේ නිෂ්පාදිත මෙම ටින්මාලුවල නිෂ්පාදිත දිනය ලෙස සඳහන් කොට ඇත්තේ 2019 දෙසාම්බර් මාසයේ වන අතර කල් ඉකුත්වීමේ දිනය ලෙස 2023 වසරේ දෙසැම්බර් මාසයේ දින යොදා ඇත. රුපියල් 275ක සිල්ලර මිල වටිනාකමක් යුතු මෙම ටින්මාලු වර්ගය කොළඹ වේල්ල වීදිය වෙළෙඳ ආයතනයක් මඟින් ගෙන්වා බෙදා හරින බව එහි ලේබලයේ සඳහන් වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘතිවලින් තම දේපළ නිවාස අහිමි වූ ජනතාව ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේ වනවිට පදිංචි කරවා ඇති අතර ඔවුන්ට තවමත් වගා කටයුතු සඳහා ජලය ලබා දීමට පියවර ගෙන නැත. මේ තත්ත්වය මත ඔවුන්ට මාසිකව මහවැලි අධිකාරිය මඟින් නොමිලේ වියලි සලාක මල්ලක් ලබා දෙන අතර  පසුගියදා ලබා දුන් වියලි සලාක අතරේ ටින් මාලුවලට අතරට ඇතැම් නිවැසියන්ට ලැබුණු සහල්ද ආහාරයට නුසුදුසු තත්ත්වයකින් පැවැතියේ යැයි තමන්ට ජනතාව පැමිණිලි කළ බව රෝහිණී කවිරත්න  වැඩිදුරටත් පැවසුවාය.


Exit mobile version