මහනුවර මත්ද්‍රව්‍ය ජවාරම්කාර කාන්තාවකට හිමි මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි කෝටි ගණනක වටිනාකමක් සහිත දේපල අධිකරණ නියෝග මත අද (18) කුණ්ඩසාලයේ ප්‍රාදේශීය ලේකම් භාරයට ගනු ලැබුවේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබිණි.
නඩු කටයුතු පවත්වාගෙන යද්දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම කාන්තාව සතු දේපල සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ දේපොල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම කොට්ටාසය අධිකරණයට කීවේ මෙම වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වූ බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මහාධිකරණය දෙපළ ප්‍රතිග්‍රාහයකා ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය නම් කරමින් එම දේපල ප්‍රාදේශීය ලේකම් භාරයට පත් කරන ලෙස නියෝගය ලබා දුන්නේය.
දැනට බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ ස්ථානයට රැගෙන එනු ලැබීමෙන් පසු ඇයගේ සැමියා භාරයේ තිබූ නිවසේ යතුරු සැකකාරියට හරහා ප්‍රාදේශීය ලේකම්වරිය භාරගනු ලැබුවාය.
ඒ අනුව මෙම ඉඩම හා නිවස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය ගේ අවසරයක් නොමැතිව කිසිවෙකුට පැවරීම, විකිණීම හා වෙනත් කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීමට එහි හිමිකරුවන්ට නොහැකි වනු ඇත.







