මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මල් හා පත්‍ර අපනයනය මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 15 පමන ආදායමක් උපයයි. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ වාර්ෂිකව මෙවැනි ආදායමක් උපයන මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සිය නිෂ්පාදන වැඩි දියුණු කර ගැනීම සඳහා සහය ලබාදීම තුළින් වාර්ෂික ආදායම වැඩි කර ගැනීමේ හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2016 වර්ෂයේ ඩොලර් 13,632,098ක් , 2017 වර්ෂයේ ඩොලර් 15,852,805ක්, 2018 වර්ෂයේ ඩොලර්15,499,502ක්, 2019 වර්ෂයේ ඩොලර් 16,268,339වශයෙන් මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම වැඩිවීමක් පෙන්නුම් කර ඇත. කොවිඩ් ලෝක වසංගත තත්වය සමග සෑම ක්ෂේත්‍රයකම ආදායම් පහළ වැටීමේ තත්ත්වය මල් හා පත්‍ර වගා ආදායම කෙරෙහි ද එකසේ බලපාමින් 2020 වර්ෂයේ ඩොලර් 11,309,748ක් ද, 2021 වර්ෂයේ ජුලි මාසය දක්වා ඩොලර් 8,760,743 ක් ද ආදායම් උපයා ඇත.


කොරෝනා වසංගත තත්ත්වය ආරම්භයේ මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් සිදු වුවද මේ වන විට එම ක්ෂේත්‍රයට විශාල වශයෙන් ඇනවුම් ලැබෙන බවත් එම ඇනවුම් වලට අදාළව සැපයීම කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මල් වගාකරුවන් පෙන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.

අපනයනය සඳහා සුදුසු මල් හා පත්‍ර වගා කරන්නන් 11000ට ආසන්න ප්‍රමාණයක් මෙරට සිටියි. නමුත් මල් වගාකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි සංගණනයක් කර නොමැත.

මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට නම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන තිබීමේ වැදගත්කම අවධාරණය කරන අමාත්‍යවරයා මල් හා පත්‍ර වගාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි සංගණනයක් පවත්වන බවද සඳහන් කරයි.

මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට බලපාන ගුවන් ගාස්තු වැඩිවීම, වෙළඳපල ඉල්ලුම සැපිරිය හැකි නව විසිතුරු මල් හා අතු ප්‍රභේද හඳුන්වාදීම, නිසි කලට පොහොර යෙදීම, වෙළඳපල අවස්ථා වැඩි දියුණු කිරීම, මල් වගාකරුවන්ට විශේෂිත වූ අඩු පොලී අනුපාත සහිත සහන කොන්දේසි මත නය යෝජනා ක්‍රියාත්මක කිරීම, ආදී ගැටලුවලට විසදුම් ලබා දීමට මැදිහත් වන බව ද අමාත්‍යවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙදර්ලන්තය, ජර්මනිය, දකුණු කොරියාව ජපානය හා මැදපෙරදිග රටවල් මල් හා පත්‍ර අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් බවට පත්ව ඇත. මෙම රටවලට අමතරව තවත් විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කරන අමාත්‍යවරයා ලංකාවේ පිහිටීම, දේශගුණය ආදී කරුණු සැලකිල්ලට ගැනිමින් මල් හා පත්‍ර අපනයනය ක්ශ්‍රේෂ්ත්‍රයේ සැපයුම වැඩි කිරීමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version