දිනසේන රතුගමගේ –
-
මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ නිර්නාමික පෝස්ටර් අලවලා… සියලු අධිකරණවල නීතිඥවරු වර්ජනයක…
වසර 12කට ඉහතදී මන්නාරම අධිකරණ සංකීර්ණයට පහර දී පුද්ගලයින්ට තුවාල සිදු කිරීම හා දේපල වලට අලාභ හානි කිරීම යන චෝදනා යටතේ මන්නාරම මහාධිකරණය ඊයේ (29) සැකකරුවන් හතර දෙනෙකු වරදකරුවන් බවට තීරණය කරණු ලැබීය.
එම වරදකරුවන් හතර දෙනාට දඩුවම් නියම කරණ තුරු ඔවුන්ව සැප්තැම්බර් මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසද මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
2012 වසරේ ජූලි මස 16 වෙනිදා මන්නාරමේ කෝන්තෙයිපිටිය ප්රදේශයේ ධීවරයින් පිරිසක් මන්නාරම අධිකරණයේ ගොඩනැගිවලට ගල් මුල් හා මුගුරු වලින් පහර දී දේපල විනාශ කළ අතර එය වැළක්වීමට ගිය පොලිස් නිලධාරීන්ට හා අධිකරණ නිලධාරීන්ටද ප්රහාර එල්ල කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුවන් පනස් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මන්නාරම දිසා අධිකරණයේ නඩු පවරනු ලැබීය.
එම නඩුව වසර එකහමාරක් පමණ දිසා අධිකරණයේ විභාග වීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් මට මන්නාරම මහාධිකරණය වෙත මාරු කොට තිබුණි.
මේ අතරවාරයේ සැකකරුවන් සියලුම දෙනාට ඇප මත නිදහස හිමිව තිබූ අතර මන්නාරම මහාධිකරණයේදී සියලු සාක්කි විමසීම පසුගිය මාර්තු මාසයේදී අවසන් කර නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 29 වෙනිද දක්වා කල් දමා තිබුණි.
එම නඩුව කැඳ වූ අවස්ථාවේදී මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන් හතර දෙනෙකු පමණක් වරදකරුවන් බවට පත් කරමින් නඩු තීන්දුව ප්රකාශයට පත් කරණ ලදි.
මේ අතර මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹදී නිර්නාමික පෝස්ටර් කීපයක් අලවා තිබීමේ සිද්ධියකට විරෝධය පලකරමින් මන්නාරමේ සියලු අධිකරණවලට අයත් නීතිඥවරු වර්ජනයක නිරතව සිටියහ.
මේ හේතුව නිසා මන්නාරම අධිකරණවල විභාග වීමට නියමිතව තිබූ නඩු සියල්ලක්ම පසු දින වලට කල් තබන ලදී.







