මත්කුඩු වැටලීමකට පොලීසියට ඔත්තුවක් ලබාදුන්නේ යැයි කියන තවත් පුද්ගලයෙකුට බොරලැස්ගමුවේදී මත්කුඩු ජාවාරම්කරුවන් විසින් පහරදී අතක් වෙන් වෙන්නට කපා දමා ඇත.
ඉකුත් 13 වෙනිදා මෙම සිදුවීම වී තිබේ.
කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයටද මත්කුඩු වැටලීමකට තොරතුරු ලබාදුන්නේ යැයි කියන තරුණයින් දෙදෙනෙක්වද ඉකුත් ඔක්තෝම්බර් 17 වෙනිදා මහා දවාලයේ බණ්ඩාරගමදී කපාකොටා දෑත් වෙන්කර තිබුණි.
එම තොරතුරුකරුවන්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 40 ක් සමග සැකකරුවන් කිහිප දෙනෙක්ද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.
එම මත්කුඩු තොගය පානදුරේ කුඩු සළිදුගේ බව පසුව කළ විමර්ශනවලින් හෙළිවිය.
මේ වන විට රටින් පළාගොස් සිටින සළිදුගේ කොන්ත්රාත්තුවකට අනුව ඊට දින කිහිපයකට පෙර හිරෙන් නිදහස්ව පැමිණී චතූ නැමැති පාතාල අපරාධකරුවෙක් විසින් එම ප්රහාරය එල්ලකර ඇති බව පොලීසිය සොයාගත්තේය.
චතූ නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී චතූ නැමැත්තා මෙයට දින කිහිපයකට පෙර කතරගම පොලීසිය විසින් ගංජා කිලෝ 05ක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාරගතකර තිබේ.
මේ වන විට පොලීසිය ඇතුලේ මේ ගැන කථාබහක් ඇතිව තිබෙන අතර පොලීසීයේම දූෂිතයන්ගේ සැළසුමකට අනුව ඒ සිදුව ඇත්තේ චතූව ආරක්ෂාකාරීව බන්ධනාගාරගත කිරීමක් බව එම කථාබහ අතර කියැවෙති.
ඒ ගැන මේ වන විටත් විශේෂ පොලිස් පරීක්ෂණයක්ද ක්රියාත්මකය.







