මත්තල කැලේ  ඉඩම් කොල්ලය සොයන්න පැමිණි දිස්ත්‍රික් ලේකම් සමග දිසා වන නිලධාරී ගැටෙයි!

සූරියවැව නුවන් ජයසේකර –

මත්තල වන සංරක්ෂණ ඉඩම් කොල්ලයක් පිළිබද සොයා බැලිමට ගිය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා දිසා වන නිළධාරී අතර උනුසුම් තත්වයක් ඇති වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආසන්නයේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හිතවත්කම් මත හෙළි පෙහෙළි කර අල්ලා ගැනීමේ ජාවාරමක් පිළිබඳව  මාධ්‍ය සිදුකළ අනාවරණයෙන් පසු ඒ පිළිබදව සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර   ඊයේ  (11) සවස මත්තලට පැමිණියේය.


එහිදී දිසාපතිවරයා හා දිසා වන නිළධාරී වරයා අතර   උණුසුම් තත්වයක්ද ඇතිවීය.

පහළ මත්තල වැව ආසන්යේ ඇති ඝන කැලෑ ඉඩම් අක්කර 30ක් පමණ මෙලෙස අල්ලා කොටුකරගෙන ඇති අයුරු දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. දිස්ත්‍රිත් ලේකම් වරයා එහි යන අවස්ථාව වන විටත් කැලෑ කපා ගිනි තබා තිබුණු අතර එහි සිදුවන ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කර ගැනීමටද දිස්ත්‍රික් ලේකම් වරයාට හැකිවිය.

මතත්ල වන රක්ෂිතය වනසා තිබූ අයුරු

මෙහිදී දිසා වන නිළධාරීන්ගේ උදාසින ක්‍රියා කලාපය පිළිබදව ද දිස්ත්‍රික් ලේකම් වරයාගේ දැඩි විවේචනයට ලක් වු අතර මෙම ඉඩම් ජාවාරම පිළිබදව වහා සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම් වරයා දිසා වන නිළධාරී රෝහණ අමරතුංගට දැනුම් දුන්නේය.

තත්වය උනුසුම් වූයේ මේ අවස්ථාවේ දී ය. මෙහි දී ලුණුගම්වෙහෙර දිසා වන නිළධාරී රෝහණ අමරතුංග    දිසාපති වරයාට පැවසුවේ වන සංරක්ෂණයට අයත් සමහර ඉඩම් සඳහා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් වරයා විසින් බලපත්‍ර ලබා දිම නිසා ඔවුන්ට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වු බවය.

මෙවැනි ඉඩම් තවත් මේ ප්‍රදේශයේ ඕනෑ තරම් තිබෙන බවත් ඔහු කීවේය.  එහිදී දිස්ත්‍රික් ලේකම් වරයා දිසා වන නිළධාරීට පැවසුවේ එලෙස බළහත්කාරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබඳව තොරතුරු ඇත්නම් ඉඩම් අල්ලාගෙන තිබෙන බව පවසමින් නිහඬව නොසිට නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

කෙසේ වෙතත් මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් වරයා පැවසුවේ දිසා වන නිළධාරීන් හා රාජ්‍ය නිළධාරීගේ උදාසීන ක්‍රියා කලාපය මේ ඉඩම් කොල්ල  සඳහා හේතු වී ඇති බවය.

කැලෑ කපා ඉඩම් අත්පත් කරගෙන ඇති ආකාරය…

දිසා වන නිළධාරී වරයා මෙහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති ප්‍රකාරව කටයුතු කරන බවය.

එහිදී මාධ්‍යවේදීන් දිසා වන නිළධාරීගෙන් විමසුවේ මෙතෙක් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකලේ මන්ද යන්නයි. එහිදී දිසා වන නිළධාරී   පැවසුවේ ඒවාට පසුව පිළිතුරු දෙන බවත් මේ සම්බන්ධයෙන් හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ දේශපාලන හිතවත්කම් මත මෙම ඉඩම් අල්ලා ගැනීම සිදුවෙන බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදීම දිසා වන නිළධාරී   ඇතුළු වන සංරක්ෂණ නිළධාරීන් දැනුම්වත් කළත් කිසිදු ප්‍රයෝජනයක් නොවුණු බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම දිස්ත්‍රික් ලේකම් වරයා පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන්ද ප්‍රදේශයේ ජනතාව දැඩි ප්‍රසාදය පළකරති.

Exit mobile version