ජානක ලියනආරච්චි –
දෙව්නිමෝරි ධාතූන්වහන්සේ තව පැය කීපයකින් ලංකාවට වැඩම කෙරෙති. උන්වහන්සේලා වඩා හිඳුවාගත් විශේෂ ගුවන් යානයක් අද පස්වරු 1 ට කටුනායක ගුවන්තොටුපලට පැමිණීමට නියමිතය. ඉන්දියාවෙන් පිටත පළමු අවස්ථාවට මෙම ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කිරීම ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස කෙරෙන විශේෂ ප්‍රදානයකි.
ආගම යනු හුදෙක් අධ්‍යාත්මික විමුක්තිය උදෙසා වූ මාවතක් පමණක් නොව, දේශසීමා ඉක්මවා යන රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස ද ක්‍රියා කර ඇති ඉතිහාසයක් තිබේ. විශේෂයෙන්ම භාරතය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතාවය හුදෙක් වෙළෙඳ හෝ ආරක්ෂක ගනුදෙනුවලට එහා ගිය, ‘ශුද්ධ සංකේත’ මත පදනම් වූ දේශපාලනික ප්‍රවේශයකව තිබුණේය. මෙම සබඳතාවයේ මූලබීජය ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී අශෝක අධිරාජ්‍යයා සහ දේවානම්පියතිස්ස රජු අතර ඇති වූ ‘අදෘශ්‍යමාන මිත්‍රත්වය’ සම්බන්ධ මහාවංශ ප්‍රවෘත්තිය තෙක් දිවෙයි.
අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැළඳ ගැනීමෙන් පසු සිය අධිරාජ්‍යවාදී ව්‍යාප්තවාදය හෙවත් දික්විජය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේය. මැදහත් විචාරයේදී තේරුම් ගත යුත්තේ එය ව්‍යාප්තවාදයේ වෙනස් වූ විවේචන රහිත ප්‍රවේශයක් බවය.
ධර්මවිජය ක්‍රියාවලියේ දී ලංකාවට මහින්දාගමනය සමඟ රජෙකුට අවශ්‍ය පංච කකුධ භාණ්ඩ සහ ධර්මෝපදේශ එවීම හුදෙක් ආගමික පණිවුඩයක් නොව, කලාපීය නායකත්වය සහ සහයෝගීතාවය තහවුරු කෙරෙන දේශපාලන ක්‍රියාවලියක් විය. දේවානම්පියතිස්ස යළිත් අභිෂේක ලබන්නේ අශෝකගේ අභිමත නායකයෙක් ලෙසය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම හරහා ලංකාවේ රාජ්‍යත්වය කෙරෙහි භාරතීය සංස්කෘතික ආධිපත්‍යයත්, ඒ හා සමගාමීව දෙරට අතර නොබිඳිය හැකි පක්ෂපාතීත්වයත් ගොඩනැගුණු අතීතියක් තිබිණි. දෙව්නිමෝරි ධාතූන්වහන්සේ වැඳ ගත යුතු වන්නේ ඒ ඓතිහාසික බැඳියාව සහිත දැනුමකින් යුතුවය.

දෙව්නිමෝරි ධාතූන්වහන්සේ
මෙම උතුම් ධාතූන්වහන්සේ හමුවන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරාවලි කඳු පන්තියට ආසන්නව, මීමෙෂ්වෝ නදී තීරයේ පිහිටි දෙව්නිමෝරි පුදබිමෙනි.
මෙම පුරාවිද්‍යා භූමිය පිළිබඳව ලෝක අවධානය යොමු වන්නේ 1959-1963 කාලසීමාවේදීය. ගුජරාට්හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැණීම්වලදී ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට අයත් දැවැන්ත ස්තූපයක නටබුන් හමු විය.
ස්තූපය තුළ තිබී ගල් (Schist stone) වලින් නිමවන ලද ඉතා අලංකාර ධාතු කරඬුවක් හමු විය. මෙම කරඬුව මත බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ශ්ලෝක සහිත ලිපියක් තිබීම මෙහි ඇති සුවිශේෂීම ශාස්ත්‍රීය වටිනාකම වූයේය. එහි “දශබල සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා” මෙහි තැන්පත් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන්ව තිබුණේය. බටහිර ක්ෂත්‍රප (Western Kshatrapa) පාලන සමයට අයත් රුද්‍රසේන රජුගේ කාලයේදී මෙම ස්තූපය නිමවා ඇති බව එම ලිපි මගින් සනාථ විය.

ධාතූන්වහන්සේ හමුවුන හැටි
දෙව්නිමෝරි ධාතූන්වහන්සේ නිරාවරණය වන්නේ ඉන්දියාවේ සිදුවන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකට පෙර සිදුකරන පුරාවිද්‍යා ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.
වර්ෂ 1950 දශකයේ අගභාගයේදී ගුජරාට් රජය මීමෙෂ්වෝ නදිය හරහා “ශ්‍යාමලාජි වේල්ල” ඉදිකිරීමට තීරණය කළේය. මෙම වේල්ල ඉදිකිරීමෙන් පසුව ප්‍රදේශය ගණනාවක් ජලයෙන් යටවීමට නියමිතව තිබුණි. ඒ නිසා එම භූමිය ජලයෙන් යටවීමට පෙර එහි ඇති ඓතිහාසික උරුමයන් මතුකර ගැනීමටත්, හැකි දේ සංරක්ෂණය කිරීමටත් පුරාවිද්‍යාඥයන්ට සිදු විය. මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කණ්ඩායම 1959 සිට 1963 දක්වා ඉතා සූක්ෂම ලෙස මෙම කැණීම් සිදු කළේ එම ඉතිහාසය සදහටම වැළලී යාම වැළැක්වීමටයි.
අවාසනාවකට මෙන්, අද වන විට දෙව්නිමෝරි පුදබිම සජීවී ලෙස දැකගත නොහැකිය. 1960 දශකයේදී වේල්ලේ වැඩ අවසන් වීමෙන් පසු දෙව්නිමෝරි මුළු පුරාවිද්‍යා භූමියම (ස්තූපය සහ විහාර සංකීර්ණය පැවති ස්ථානය) ශ්‍යාමලාජි ජලාශයට යට විය. එහෙත් කැණීම්වලින් හමුවූ වැදගත් කලා නිර්මාණ, මැටි බුද්ධ ප්‍රතිමා, සෙල්ලිපිය සහිත ධාතු කරඬුව සහ අනෙකුත් පුරාවස්තු ජලයෙන් යටවීමට පෙර ආරක්ෂිතව ඉවත් කරගත්තේය
එම සියලුම ඓතිහාසික වස්තූන් දැනට ගුජරාට්හි වඩෝදරා නුවර පිහිටි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඉතා ආරක්ෂිතව තැන්පත් කර තිබේ. ලංකාවට වැඩම කරවා ඇත්තේ එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාය.

මේ කැණීම් ඔස්සේ වැදගත් ඓතිහාසික කරුණු ගණනාවක් අනාවරණය කිරීමට පුරාවිද්‍යාඥයෝ කටයුතු කළහ.
දෙව්නිමෝරි කැණීම් සම්බන්ධයෙන් ඇති මූලිකම සහ වැදගත්ම වාර්තාව වන්නේ බරෝඩාවේ මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා සහ ඉතිහාස දෙපාර්තමේන්තුවේ ආර්.එන්. මේතා සහ එස්.එන් චෞද්‍රි විසින් 1966 වර්ෂයේ දී දෙව්නිමෝර් කැනීම් සම්බන්ධව සකස් කළ පර්යේෂණ වාර්තාවය. (Mehta, R.N. and Chowdhary, S.N. (1966). Excavation at Devnimori. Department of Archaeology and Ancient History, Maharaja Sayajirao University of Baroda. ). සෙල්ලිපියේ අන්තර්ගතය සහ ධාතු කරඬුව පිළිබඳ පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් වේ.
පසුව 1963 සහ 64 කාලයේ දී ප්‍රකට ඉන්දීය ශිලා ලේඛන විද්‍යාඥ ඩී.සී. සර්කාර් විසින් මෙම සෙල්ලිපියේ අක්ෂර සහ භාෂාව පිළිබඳව ශාස්ත්‍රීය විවරණයක් සැපයුවේය. (Sircar, D.C. (1963-64). Select Inscriptions Bearing on Indian History and Civilization. Vol. 1).
ඉන් පසු ඇමරිකානු බෞද්ධ විද්වතෙකු වන ග්‍රෙගරි ෂෝපන් විසින් 1987 වර්ෂයේ දී මෙම සෙල්ලිපියේ අන්තර්ගතය සහ එහි ඇති ආගමික වැදගත්කම පිළිබඳව කළ ගැඹුරු විශ්ලේෂණයක් ඉන්දු-ඉරාන සඟරා ලිපිවල පළ කළේය. (Schopen, Gregory (1987). The Inscription on the Kuṣāṇ Casket from Devnimori and the Type of Relic Deposition it Represents. In ‘Indo-Iranian Journal’.)
මේ පර්යේක්ෂකයින් ඇතුළු මේ සම්බන්ධව අධ්‍යයනය කළ විද්වතුන් ගණනාවකගේ පර්යේෂණ දෙව්නිමෝරි ධාතූන්වහන්සේ ගේ ඓතිහාසිකත්වය තහවුරු කර ඇත්තේය.

දෙව්නිමෝරි ධාතූන්වහන්සේලාගේ තහවුරු කළ ඓතිහාසිකත්වය
දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා මතුකර ගන්නේ ස්තූප ගරභය තුළ තිබූ විශාල ගල් කරඬුව ඇතුළත මල් පෙති මත සැතපූ සේද රෙදි කැබැල්ලක ඔතන ලද තවත් කුඩා රන් කරඬුවක් තුල තිබීය.
සාමාන්‍යයෙන් බෞද්ධ සම්ප්‍රදායේ විස්තර කෙරෙන “මුක්තා” හෙවත් මුතු වැනි ස්වරූපයට සමානකමක් මෙම ධාතූන්වහන්සේ ගෙන් විද්‍යාමන වී තිබිණි. දීප්තිමත් සුදු පැහැයට හුරු ස්වභාවයක් මේවායේ දැකිය හැකි ආකාරය මුල් කැනීම් වාර්තාවල සටහන්වූයේය.
මේවා ඉතාමත් සියුම් (Minute) වන අතර, පුරාවිද්‍යාඥයන් පවසන පරිදි දශක ගණනාවක් තිස්සේ කරඬුව තුළ ආරක්ෂිතව තිබීම නිසා ඒවායේ පෞරාණික බව සහ ස්වභාවය නොවෙනස්ව තිබී ඇත.
දෙව්නිමෝරි දාගැබ් ගර්භයේ තීබී පුරාවිද්‍යා කැණීමකදී සොයා ගත් පිරිසිදු සුදු පැහැති මුතු වැනි ස්වරූපයක් ගන්නා මේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ ශිලා මංජුසාව (Stone Casket) මත සෙල් ලිපියක් වූයේය. දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලාගේ සත්‍යතාව සහ ඓතිහාසික පසුබිම සනාථ කරන ප්‍රබලම ශාස්ත්‍රීය සාධකය මෙන්ම ඓතිහාසික මුද්‍රාව වූයේ මෙම සෙල් ලිපිය ය. එම සෙල් ලිපිය ශිලා මංජුසාවේ මතුපිට ඉතා පැහැදිලිව කොටා තිබිණි.
සෙල් ලිපිය ලියා තිබුණේ සංස්කෘත භාෂාවෙනි. ඒ සඳහා භාවිතා කර තිබුනේ පසුකාලීන භ්‍රාමීය අක්ෂරයන්ය. පුරවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එම අක්ෂර කුෂාණ අක්ෂරවලට සමාන ලිපි ශෛලියක් පවතින බවය.
ධාතූන්වහන්සේ වැඩ සිටි මංජුසාවේ ඇති සෙල්ලිපියේ අන්තර්ගතය සහ අර්ථය

ලිපිය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් සමන්විත ය.
ලිපිය ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙනි. එහි බුදුන් වහන්සේව හඳුන්වා ඇත්තේ “දශබල බාලි” (Dashabala Bali) හෙවත් දසබලධාරී බුදුරජාණන් වහන්සේ ලෙසය.
ධාතූන් වහන්සේලාගේ නිරවද්‍යතාව මේ ලිපියෙන් නිශ්චිතවම තහවුරු කරයි. මෙම කරඬුව තුළ තැන්පත් කර ඇත්තේ “සර්වඥ ධාතු” (Relics of the Enlightened One) බව සෙල් ලිපිය හරහා නිශ්චිතවම තහවුරු කර ලේඛනගත කර තිබේ. මෙම තහවුරුව පුරාවිද්‍යාඥයන්ට මෙම ධාතූන් වහන්සේලා හුදෙක් රහතන් වහන්සේ නමකගේ නොව, බුදුරජාණන් වහන්සේගේම බව නිගමනය කිරීමට උපකාරී විය.
ලිපියේ සඳහන් වන පරිදි මෙය “කතිකා” (Kathika) රජවරුන්ගේ පාලන සමයේදී හෙවත් ශක වර්ෂ 127 එනම් ක්‍රි.ව. 205-210 පමණ සිදු වූවකි. මේ කාල නිර්ණය පිළිබඳව සංවාදයක් තිබේ. ඇතැම් විද්වතුන් මෙය ක්‍රි.ව. 3-4 සියවස්වලට අයත් බවට ද තර්ක කරති. මෙම ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යකර්මය සඳහා මූලික වූ භික්ෂූන් වහන්සේලා දෙපළක් වන අග්නිඛන්න (Agnikhanna) සහ නන්දි (Nandi) යන නම් මෙහි සඳහන් වේ. ස්තූපය ඉදිකිරීමේ භාරකාරත්වය උසුලා ඇත්තේ “වරහ” නම් පුද්ගලයෙකු බව ද කියවේ.
තේරුම්ගත යුත්තේ දෙව්නිමෝරි සෙල්ලිපිය හුදෙක් අතීත වාර්තාවක් නොව, මෙම ධාතූන් වහන්සේලා සැබෑ ලෙසම දසබලධාරී බුදුරජාණන් වහන්සේගේම බවට පුරාවිද්‍යාත්මකව තැබූ ‘රාජ්‍ය මුද්‍රාවක්’ බවය.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධාතූන් වහන්සේලා බෙදා වෙන් කර විවිධ ස්ථානවල තැන්පත් කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය මෙමගින් තහවුරු වී තිබුණේය. එමෙන්ම බටහිර ඉන්දියාවේ (ගුජරාටයේ) බුදුදහම කෙතරම් ප්‍රබලව පැවතියේද යන්නට මෙය ජීවමාන සාක්ෂියක් වූයේය.
දෙව්නිමෝරි සහ වර්තමාන දේශපාලනයේ ‘මෘදු බලය’

ජාතික නිදහස් දිනය දවසේ ලංකාවට වැඩම කරන්නේ මේ තරම් ඓතිහාසික වටිනාකමක් සහිත අපරිමිත පූජනීයත්වයට ලක් විය යුතු මහා බෞද්ධ සංකේත සමුදායකි.
දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලාගේ වැඩම කරවීම යළිත් වරක් අපට හඳුනා ගත හැකි වන්නේ වසර දෙදහසකට පෙර අශෝක අධිරාජ්‍යයා අනුගමනය කළ එම ‘ධර්ම තාන්ත්‍රික’ පිළිවෙතේම නූතන ප්‍රතිසංස්කරණයක් ලෙසය.
අවබෝධ කරගත යුත්තේ නූතන ලෝක දේශපාලනයේ ‘මෘදු බලය’ (Soft Power) භාවිතා කිරීමේදී ආගමික සහ සංස්කෘතික උරුමයන් ප්‍රබල සාධක බවට පත්ව ඇති බවය. කලාපීය බලය උදෙසා වන ආර්ථික තරගය හමුවේ, ජනතාවගේ හදවත් දිනාගැනීමේ ‘මෘදු බලය’ ප්‍රදර්ශනය කළ හැකි ආකාරය මෙවන් උතුම් ආගමික සංකේතයන් භාවිතා කිරීම හරහා, ඉන්දියාව පෙන්වා දෙන්නේය.
දෙව්නිමෝරි වැනි පුරාවිද්‍යාත්මකව සනාථ වූ ඓතිහාසික උරුමයක් ලංකාවට එවීමේදී, ඉන්දියාව සහ ලංකාව අතර පවතින්නේ හුදෙක් භූ-දේශපාලනික සබඳතාවක් නොව, පොදු ශිෂ්ටාචාරමය උරුමයක අයිතිය සහිත සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් බව මේ දෙපාර්ශවයම ලෝකයට ප්‍රකාශ කරමින් ඇත. ඉතිහාසය පුරා ඉන්දියාවෙන් පැමිණි ධර්ම පණිවිඩවල නූතන රාජ්‍ය තාන්ත්‍රික ස්වරූපය ද දෙව්නිමෝරි ධාතූන්වහන්සේලාගෙන් ප්‍රකාශ වෙමින් තිබේ. මේ අවස්ථාව හුදෙක් ආගමික වන්දනාමානයට අවස්ථාවක් සලසා දීමකට ලඝු නොවන්නේ එබැවිනි.







