බීමත් චීවරධාරියා අලි වෙඩිල්ලක් පුපුරුවා තරුණයෙක් ඝාතනය කරයි!…

මනම්පිටිය නිමල් ජයරත්න –  

වාලච්චේන පොලිස් බල  ප්‍රදේශයේ සුදුකන්ද නිදහන්ගල විහාරස්ථාන භූමියේ 02 රාත්‍රී 10:30 ට පමණ  තරුණයන් පිරිසක් සමග  මත්පැන් සාදයක් පැවැත්වූ    එම  විහාරස්ථානය අධිපති බීමත් චීවරධාරියා සාදයේ සිටි තරුණයෙක් සමග ගැටුමක් ඇති කරගැනීමෙන් පසු අලි වෙඩිල්ලක් පුපුරුවා හැර එම තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාලච්චේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

අලි වෙඩිල්ල පිපිරී   තරුණයා එම ස්ථානයේ දීම මිය ගොස්   චීවරධාරියාගේ  දෑත්  බරපතළ තුවාල ලබා ඇති බවත්, සැක පිට අත්අඩංගුවට ගත් චීවරධාරියා  විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම අලි වෙඩිල්ල පුපුරවා හැරීමෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න අංක 144  ලිපිනයේ පදිංචිව සිටි එස්.එච්. සිසිර කුමාර යන 27 වියැති  අවිවාහක තරුණයෙකු බව පරීක්ෂණ   සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.


විහාරස්ථාන භූමියේ ප්‍රදේශයේ තරුණයන් හය දෙනකු සමඟ එම  චීවරධාරියා සාදයක් පවත්වා ඇති බවට මූලික පරීක්ෂණ කටයුතු වලින්  අනාවරණය වී ඇති අතර  එම අවස්ථාවේදී මියගිය තරුණයා සමග  චීවරධාරියා බහින් බස් වීමක් සිදුව තිබේ. එහිදී චීවරධාරියා ආවාස ගෙයින්  අලි වෙඩිල්ලක් ගෙනැවිත් තරුණයා සමග පොර  බදිමින් අලි වෙඩිල්ල පත්තු කරගෙන ඇති බව ද පරීක්ෂණ පවත්වන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (03)    වාලච්චේන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එරාවුර් වැඩබලන සහකාර පොලිස් අධිකාරී ඉන්දික  ප්‍රේමතිලකගේ උපදෙස් අනුව වාලච්චේන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පොලිස්  නිලධාරී  කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version