බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම ප්‍රකාශය පලවන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර නිෂ්පාදකයින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය පළකිරීමේ අවසන් දිගුව වශයෙනි.
.බිත්තර මිල පිළිබඳ ගැටලුවේ උපරිම තත්ත්වය වාර්තා කරමින් බිත්තරයක මිල රුපියල් 60 සීමාව ද ඉක්මවා ගිය පසුබිමක ඊට මැදිහත් වූ වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් බිත්තර මිල අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබිණි.
බිත්තර නිශ්පාදකයින් ඊයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමු වී සාකච්ඡා කර බිත්තරයක මිල රුපියල් පහකින් අඩු කිරීම සඳහා තීරණයකට පැමිණියේය. ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 05 කින් අඩු කරීමට ඒ් අනුව නිශ්පාදකයෝ එකඟ වූහ.
එසේ තිබිය දී ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක් වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් කිරීම දැන් නව අර්බුදයක් නිර්මාණය කර ඇතැයි බිත්තර නිශ්පාදකයෝ පවසති.
බිත්තර සඳහා උපරිම මිලක් පැනවීම අසාධාරණ බවට පවසමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන ආශ්රිත ව්‍යාපාරිකයින් පිරිසක් අදත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සිටියත් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වී තිබුණේ නැත.