බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් බලෙන් ගන්නා දේශපාලන බලවතුන් ගැන පැමිණිල්ලක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල දුම්රිය අංගනය භූමිය , දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ අවසරයකින් තොරව ඩෝසර් කර ඇති අතර, එම දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය ඉඩම් කිසිදු විමසීමකින් තොරව අනවසරයෙන් බණ්ඩාරවෙල නගර සභාව සහ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කර සිටි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර, දැනට බණඩාරවෙල හා නාවලපිටිය ප්‍රදේශවල ආණ්ඩුවේ දේශපාලන බලවතුන් විසින් සිදුකරන දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ක්‍රියාව අත්හිටුවන ලෙසට සිය වෘත්තිය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ මහතා පවසයි.

දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල සම්පූර්ණ අයිතියි දුම්රිය සාමාන්‍යධිකාරිවරයා සතුවන අතර, දැනට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට නොගන්නා යම් ඉඩම් කොටසක් වේ නම්, දුම්රිය ධාවන කටයුතුවලට බාධාවක් නොවන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන බදු ක්‍රමවේදය යටතේ ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයට ලබා ගත හැකිව ඇත.


එහෙත් එසේ එම හැකියාව තිබියදි දේශපාලන බල අධිකාරියේ බල පුළුවන්කාරකමින් බලහත්කාරි ලෙස අනවසරයෙන් එම ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කිරිම, දුම්රිය දෙපාර්තමේන්තුව තව තවත් පරිහානියට පත් කිරිමක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

වාර්ෂිකව පාඩුව ගණනය කර දුම්රිය දෙපාර්තමේන්තුවේ , යම් ක්‍රමවේදයක් තුලින් වාර්ෂික ආදායම් වැඩිකර ගැනීම සදහා මෙම ඉඩම් යොදා ගැනීමට හැකියාව පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

දුම්රිය ස්ථාන හා බැදුනු ප්‍රධාන නගරවල ඇති ඉඩම් භාවිතයට ගෙන, සාප්පු සංකිර්ණ, මූල්‍ය සේවා, හෝටල්, කාර්යාල, සිනමා ශාලා, විනෝද මධ්‍යස්ථානය සහ තට්ටු නිවාස ආදියෙන් සමන්විත වාණිජ මධ්‍යස්ථාන බවට පත්කිරිම සදහා වැඩ පිළිවෙලක් සකස් කර දුම්රිය සේවාවේ ආදායම ඉහල නංවන වැඩ පිළිවෙලක් සකස් කෙරේ මැයෙන් ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන හෝ ආණඩුවේ බලහත්කාරය යොදා දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමෙන් , ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් එම වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංගනය කර තිබෙන බවත්, බණ්ඩාරවෙල පමණක් නොව නාවලපිටිය, පුත්තලම හා තවත් ප්‍රදේශ ගණනාවකම ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය ඉඩම් බලහත්කරයෙන් අත්පත් කරගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් චෝදනා කර සිටි.

Exit mobile version