පූජිත ජයසුන්දරගේ “සරල බව“ පාස්කු ඉරිදා විනාශයට පාර කැපූ හැටි

රාජ්‍ය බුද්ධි සේවයේ අනතුරු ඇඟවීමත් අඩුපාඩු සහිතයි - හිටපු බුද්ධි ලොක්කා කොමිසමේදී පහදයි

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර ක්‍රියාකර ඇත්තේ සරල අපරාධයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (29) ප්‍රකාශ කළේය.

2003 සිට 2011 වසර තෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති ගජනායක මහතා ඊට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසද සේවය කළේය. කෙසේ වුවද රාජ්‍ය බුද්ධී සේවය විසින් නිකුත් කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරුවල පැවැති අඩුපාඩු පිළිබඳව ද පෙන්වා දුන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා , රාජ්‍ය බුද්ධි සේවය සතුව පැවැති තොරතුරු සියල්ල පැහැදිළිව එම අනතුරු ඇගයීමෙන් ඉදිරිපත් කළේ නම් මීට වඩා අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුවී ඇතැම් විට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පවා ඉඩකඩ තිබුණු බව ද පෙන්වා දුන්නේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිත කර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව ඊයේ රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.


උතුර නැගෙනහිර ත්‍රස්තවාදය පවතින කාලයේ සහ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන කාලවකවානුවේදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු සාක්ෂි විභාගයේදී රාජ්‍ය බුද්ධි සේවය සතු කාර්ය භාරය සහ තම අත්දැකීම් පිළිබඳවද දීර්ඝ විස්තරයක් කළේය. මෙම කරුණු සම්පිණ්ඩය කරමින් පසුගිය වසරේ අප්‍රියෙල් 21වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් පාස්කු ප්‍රහාරයට පෙරාතුව සිදු කරන ලද පූර්ව අනතුරු ඇගයීම් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව සාක්ෂි දුන්නේ මෙසේය.

මෙම අවස්ථාවේදී රජයේ නීතීඥවරයා පාස්කු ප්‍රහාරයට අදාලව පූර්ව අනතුරු ඇගයීමට අදාල බුද්ධි තොරතුර සාක්ෂිකාර කීර්ති ගජනායක මහතාට පෙන්වීය. පළමුව පෙන්වා සිටියේ එවක ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවකට පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යොමුකර තිබූ රහස් ලේඛනය කෙරෙහිය. එහි ඇතුළත් වූ ” Eyes Only ” යන්නේන් කුමක් සදහන් කර තිබේදැයි එහිදී රජයේ විනිසුරුවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර කීර්ති ගජනායක මහතා “අතීශය රහසිගත තොරතුරක් නිශ්චිතවම එක් පුද්ගලයකු වෙත යොමු කරන ලිපියක එලෙස Eyes Only ලෙස සලකුණු කරනවා.

එවැනි සටහනක් ඇතුළත්ව ලිපියක් ලැබුණේ නම් එහි අන්තර්ගතය උපුටා දක්වමින් තවත් ලිපියක් සකස් කිරීම පමණක් සිදුකළ යුතුවෙනවා. තමන්ට ලද ලිපිය එම අවස්ථාවේදීම විනාශ කළ යුතුයි.

මගේ සේවා කාලය තුළ Eyes only ලෙස සටහන් තබමින් ලිපි යොමු කර ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්ට පමණයි.

මෙහිදී රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියෙහිම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් යොදා තිබූ “FNA” හෙවත් for necessary action යන යෙදුම සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරන ලදි.

තම අත්දැකීම අනුව මෙවන් වටිනා බුද්ධි තොරතුරක් අන්තර්ගත වූ ලිපියෙහි for necessary action යන්න කිසිසේත් සදහන් නොකල යුතු බව එහිදී කීර්ති ගජනායක මහතා සදහන් කළේය. සාමාන්‍යයෙන් එම යෙදුම පොලිස් දෙපාර්තමේන්තුව තුළ අතිශය සුලබව භාවිත වන බවත් වැඩිවශයෙන් සරල හා සුලු අපරාධවලදී මෙම යෙදුන වැඩිවශයෙන් භාවිත කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම යෙදුම නිසා මෙවන් වටිනා සහ සංවේදී රහසිගත බුද්ධි තොරතුර අවතක්සේරුවට ලක්කර ඇති බවද සාක්ෂිකාර කීර්ති ගජනායක මහතා සදහන් කළේය. මෙවැනි ක්‍රියාවක් පහළ නිලධාරියකු සිදුකළා නම් පිළිගත හැකිවූවත් පොලිස්පතිවරයා එවැන්නක් සිදුකිරීම අනුමත කළ නොහැක්කක් බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

මෙවැනි තොරතුරක නිශ්චිත හෝ අවිනිශ්චිතබව සෙවීමට වඩා ප්‍රහාරය සිදුවිය හැකිනම් එය වළක්වා ගැනීමට කටයුතු කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පූජිත් ජයසුන්දර විසින් එවැන්නක් සිදුකිරීම හෝ නිශ්චිත උපදෙසක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවා සිදුකර නොතිබූ බවද කීර්ති ගජනායක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ” තවදුරටත් රහසිගතව පරීක්ෂණ කෙරෙමින් පවතී ” ලෙස සදහන් වීමෙන් මුල් බුද්ධි තොරතුරට හානියක් වී ඇත්ද යන්නයි.

එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙම ලිපිය ලැබෙන විටත් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය තොග සොයාගැනීම ආදී කටයුතුවලට සහරාන් හෂීම් ප්‍රමුඛ .ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබී ඇතත් පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ඔහුගේ නම් පමණක් ඇතළලත් කර ඉහත කී සිද්ධීන් ගැන සදහන් කර නොතිබීමද මෙහි අඩුපාඩුවක් ලෙස හදුනගත හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තොරතුරු තර්කානුකූලව ගලපා සෙසු නිලධාරීන්ට යොමුකළ යුත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් බවත් ඔහු එලෙස සිදුකර තිබුණේ නම් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව පැවති බවද කීර්ති ගජනායක මහතා සදහන් කළේය.

Exit mobile version