දිනසේන රතුගමගේ –
-
අනතුරුදායක තත්ත්වය ගැන තක්සේරු කර සිසුන් ගොඩනැගිල්ලෙන් ඉවත් කර එළිමනේ පන්ති පැවැත්වූ නිසා මාරක අනතුරක් බේරිලා…
වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන මූලික පිරිවෙණ සතුව තිබූ එකම ඉගෙණුම් ශාලා ගොඩනැගිල්ලේ වහලය අද (05) උදෑසන කඩා වැටී තිබේ.
එම ශාලාවේ වහලය කඩා වැටෙන විට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා ගිහි ශිෂ්‍යයින් 25 ක් පමණ සිට ඇති අතර වහලයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා එම පිරිස ශාලාවෙන් ඉවතට ගෙන තිබුණු බව මූලික පිරිවෙණේ ආචාර්ය වාරක්කෑවේ වජිර හිමියෝ පැවසූහ.

වහලය අබලන් නිසා විහාරාධිපති මුවඇටගම ආනන්ද හිමියෝ වඩු කාර්මිකයෙකු සමග අදාල ස්ථානයට ගොස් මුක්කුවක් තැබීමට බැහරට ගිය අවස්ථාවේදී එක්වරම වහලය කඩා වැටී තිබේ.
මේ නිසා එම මූලික පිරිවෙණේ සිසුහු මේ වන විට පිරිවෙන් භූමියේ ගස් යට තැන තැන අධ්‍යාපන කටයුතු වල නිරතව සිටියි.
මෙම පිරිවෙන් ගොඩනැගිල්ල 1982 වසරේදී ජනාධිපති අරමුදලෙන් හා විමධ්‍යගත අයවැයෙන් ලැබුණු රුපියල් එක්ලක්ෂ අනූඅට දහසක මුදලකට ඉදිකොට එදා සිට මේ දක්වා අධ්‍යයන කටයුතු කරගෙන ගොස් තිබේ.
මෙම මූලික පිරිවෙණ සදහා නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් පැන නැගී තිබේ.







