පිටරටින් කාබනික පොහොර ගේන්න එපා… නිදාගෙන ඉන්න යක්කුත් ඇහැ‍රෙන්න පුළුවන් – මහාචාර්ය සමන් සෙනෙවීර

මහාචාර්ය සමන් සේනවීර

සංවාදය – චාමින්ද වාරියගොඩ

කාබනික කෘෂිකර්මය ඉතාම හොඳ සංකල්පයක් වුවද එය නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් හෝ සැලසුමකින් තොරව සිදු කිරීම රටක ආහාර සුරක්ෂිතාව සම්බන්ධයෙන් සිදු කරන අතිශය බරපතල වැරැද්දක් බව ශ්‍රි ලංකා මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ පැළෑටි පිළිබඳ කායික විද්‍යාඥයකුවන මහාචාර්ය සමන් සෙනෙවීර පවසයි.

මහාචාර්ය සමන් සෙනෙවීර   රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ  උපාධිධරයෙකි. අමෙරිකාවේ ඉලිනෝයි, ජපානයේ තොහුකු, ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වින්ස්ලන්ඩ් සහ මෙල්බර්න් යන විශ්ව විද්‍යාලවල ශාක කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්යවරයෙකි. වසර විසි පහකට වැඩි කාලයක් පර්යේෂණාත්මක අත්දැකීම් සහ සේවා පළපුරුද්දක් ඇති මහාචාර්ය සමන් ෙසෙනවීර ශ්‍රි ලංකාවේ ජාතික මුලික අධ්‍යයන ආයතනයේ මහනුවර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙකි.

ඔහු  ලංකාසර සමඟ කළ පිළිසඳරකට මෙසේ පළවෙයි

ප්‍රශ්නය – ශ්‍රි ලංකාව මේ මොහොතේ සිටින්නේ රසායනික පොහොර සහ සියලුම කෘෂි රසායනික දුව්‍ය ආනයනය තහනම් කර කාබනික කෘෂිකර්මයට පරිවර්තනය වෙන තීරණාත්මක තත්ත්වයක්. මෙ පිළිබදව දැනට පවතින විවාදයට ඔබ පිවිසෙන්නේ කොහොමද?

පිළිතුර – මේක අතිශයින්ම විවාදිත කරුණක් . මම හිතන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ අධ්‍යයනයකින් තොරව මේ කරන්නට යන දේ කාබනික කෘෂිකර්මය කොපමණ හොඳ සංකල්පයක් වුවද රටේ ආහාර සුරක්ෂිතාව අනතුරේ හෙළන බරපතල ම වැරැද්දක් විය හැකි බවයි. මේ තීරණය ගත්තේ කිසිදු විද්‍යාත්මක දත්තයක් ලබා නොගෙන. එයින් සිදුවිය හැකි බලපෑම පිළිබඳ ව කිසිදු විද්‍යාත්මක තක්සේරුවක් නොකර. එයින් රටේ ආහාර සුරක්ෂිතතාව බරපතල අනතුරකට ගෙන යා හැකියි.

ප්‍රශ්නය – ඔබ මේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රශ්නය මේ තුළ අභියෝගයට ලක් කරන්නේ කොහොමද?

පිළිතුර – රටක කාෂිකර්මාන්තයේදී එහි මූලික අරමුණ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව. එය තවදුරටත් පැහැදිළි කරනවා නම් අපිට තනිවම රටක් ලෙස අපේ ආහාර ප්‍රශ්නවලින් බහුතරයක් විසඳා ගත යුතුව පැවතිය යුතුයි. එසේ නැතිනම් අපට පිට රටක් මත අහාර සම්බන්ධයෙන් මුළුමනින්ම හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් යැපෙන්න සිදුවෙනවා. එය බරපතල සේ අනතුරුදායකයි.

මම ශාක කායික විදයාඥයකු ලෙස මෙය එක් විදයාත්මක දෘෂ්ඨි කෝණයකින් බලනවා. අද ලොකයේ ආහාර සඳහා වගා කරන බොහොමයක් භෝග අවුරුදු 70ක් පමණ කාලයක් තිස්සේ වැඩි දියණු කළ  ප්‍රභේද. මෙ ප්‍රභේද වගා කිරීමේ අරමුණ තමයි අඩු ඉඩකින් පවතින කාලගුණික තත්ත්ව සහ පාරිසරික තත්ත්ව යටතේ අඩු යෙදවුම් සහිතව වැඩි අස්වැන්නක් ලබා ගැනීම. ඒ වෙනුවෙන් බොහෝ බෝගවල ජානමය හො ප්‍රවේණික ලක්ෂණ දියුණු කර තිබෙනවා.


මෙහෙම හදන පැලෑටියකට නිශ්චිත අකාරයට අවශ්‍ය පෝෂක ලබා දිය යුතුයි. ඇත්තටම මේ පෝෂක  රසායනික පොහොරෙන් එනවද කාබනික පොහොරෙන් එනවද කියන එක ශාඛය දන්නේ නෑ. නමුත් නිසි අනුපාතයකින් එම පෝෂණ ද්‍රව්‍ය ලැබිය යුතුයි. ශාකයක හොඳ වර්ධනයකට  කොහොමටත් කවර වගාවකදී වුණත් කාබනික පොහොර අවශ්‍යයි. නමුත් අර විදිහට වැඩි දියුණු කළ ශාකයකට අවශ්‍ය නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් අනුපාතයන්ට අවශය ප්‍රමාණයන්  ලෙහෙසියෙන් කාබනික පොහාර මඟින් පමණක් ලබා දෙන්න බැහැ. ඒ සඳහා රසායනික පොහොර භාවිත කළ යුතුයි.

සමහර විට කාබනික වගාවට පරිවර්තනය වන පළමු කන්නයේදී   පසේ එතෙක් පවතින ගුණාත්මක බව හේතුවෙන්   සාර්ථක විය හැකි වුණත් දෙවන කන්නයේදී සහ එයින්අ පසු කන්නවලදී අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා.

ප්‍රශ්නය – ඒ කියන්නේ අපට කාබනික කෘෂිකර්මයට යන්නම බැරිද?

 

පිළිතුර – අදටත් අපි කාබනික කෘෂිකර්මය කරනවා. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් මේ සඳහා නිසි සූදානමක් තිබිය යුතුයි. අදටත් කාබනික නිෂ්පාදන අපේ වෙළෙඳපොලේ තිබෙනවා ඒවායේ මිල සියයට 300කින් විතර වැඩියි. ඊට හේතුව සාපේක්ෂව අස්වැන්න අඩු වීම. වස  විස වලින් තොරවීම වගේ කරුණු. මේ කාබනික නිෂ්පාදන සඳහා පවතින  නිශ්චිත වෙළෙඳපොළ ඉලක්ක කර අප නිෂ්පාදන සිදු කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් සමස්තයක් ලෙස මෙම කාබනික වගාවෙන්  පමණක් අපට මුලුමනින්ම රැකෙන්න අමාරුයි.

එහෙම යනව නම් අප ඊට අදාල පසුබිම සකස් කළ යුතුයි. බෝග සංවර්ධනය කළ යුතුයි.

අනෙක වැඩි අස්වනු දෙන නව්‍ය පාරිසරික තත්ත්වවලට උචිත ලෙස වැවෙන බෝග සඳහා අවශ්‍ය පොෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය  නිසි අනුපතයකින් ලබා ගැනීමට රසායනික පොහොර ඉතා ස්වල්පයක් අවශ්‍ය වෙද්දී කාබනික පොහොරෙන් මේ දේ කිරීමට විශාල කාබනික පොහොර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගන්නේ කොහොමද?. ඒ සඳහා අපට  ප්‍රමාණවත් තරම් කාබනික සම්පත් තිබිය යුතුයි. ඒ වගේම ඊට අදාළ යටිතල පහසුකම් තිබිය යුතුයි. යන්ත්‍ර සූත්‍ර තිබිය යුතුයි. දැනට අප එවැනි තත්ත්වෙක නැහැ.

ප්‍රශ්නය – රජය දැන් සූදානම් වෙන්නේ කාබනික පොහොර පිටරටින් ගේන්න?

පිළිතුර – එහිදි එන පළමු ප්‍රශ්නය අපේ වගාවට අවශ්‍ය තරම් අපේක්ෂිත අස්වනුවලට සහ පැළෑටිවල පෝෂ්‍ය දුව්‍ය අවශ්‍ය අනුපාතයට ලබා දිය යුතු මට්ටමකට කාබනික පොහොර අපිට ගෙන්වීම ප්‍රායෝගිකව අපහසුයි. අනෙක පිට රටකින් ඒ විදිහට කාබනික පොහොර ගෙන්වීමේ බරපතල අවදානමක් තිබෙනවා. මේ වනවිටත් ඒවායේ අහිතකර ක්ෂුද්‍ර ජීවි විශේෂ තිබෙනවා කියල තහවුරු වී තිබෙනවා. අපට මේයේ සිටින දසියලුම  ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් රසායානාගාර පහසුකම් නෑ.

ඒ  වගේම මෙම පොහොර ගෙන්වන්නට යන්නේ උප ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණ පවතින චීනයෙන් . ඒවායේ ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් සිටියත් ශීත ගිම්හාන ආදී සෘතු විපර්සායන් තදින් පවතින දේශගුණික තත්ත්ව මත ඇතැම් ක්ෂුද්‍ර ජිවීන් අක්‍රියව පවතින්න පුළුවන්. මේ ක්ෂුද්‍ර ජීවීන් ඝර්ම කලපීය රටකදී යළි සක්‍රිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිදාගෙන ඉන්න යක්කුත් ඇහැරෙන්න පුළුවන්. සමහර විට අප නොදකින බැර ලෝහ මේ පොහොර සමඟ එකතු වී තිබිය හැකියි. ලෝකයේ එවැනි අත්දැකීම් පවතිනවා.

අනෙක මේ විදිහට නැව් ගණනින් කාබනික පොහාර රටට ගෙන්වීමේ දී යන වියදම, කාලය අවදානම සියල්ල බැලුවාම මෙයින් සිදුවන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදුවන හොඳ ප්‍රතිඵලවටට සාපෙක්ෂව සමාජයීය , ආර්ථික සහ පාරිසරික විනාශයක් සිදුවීමේ ඉඩකඩ වැඩියි.

ප්‍රශ්නය – රටේ සෞඛ්‍ය අතින් වැඩිම තර්ජනයක් තිබෙන්නේ රසායනික පොහොරවලට වඩා පළිබෝධ නාශක ඇතුළු වෙනත් කෘෂි රසායනවලින් ?

පිළිතුර – ඔව්. රසායනික පොහොර හෝ වෙනත් කෘෂි රසායන හේතුවෙන්  ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්නවලට බරපතලකමට හේතුව ඒවා අධි භාවිතයයි.  මේවා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළිබොධ නාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ වුණත් මේවා අධිභාවිතයට හේතු වී ඇත්තේ ගොවී මහතුන්ගේ වැරදි පුරුදු, මෙම රසායන ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ සමාගම්වල අලෙවි උපක්‍රම ආදියයි.

අද මේ ද්‍රව්‍ය යෙදීමේ අවශ්‍යතාව සහ ප්‍රමාණය තීන්දු කරන්නේ වෙළෙන්දන්. එහෙම නැතිනම් අර වෙළෙඳපොල උපක්‍රම මඟින් පෙලඹවන ලද ගොවීන්. මේ තත්ත්වය නියාමනය කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමක්.

අප කළ යුත්තේ මේවා තහනම් කිරීම නෙවෙයි. මොකද මේවා තහනම් කළාම මේ පළිබෝධ නාශනය කිරීමේ  කටයුත්ත කරන්නේ කවුද ගොවියාද?. ඒ සඳහා වානිජ වගාවේදී ඒ සඳහා වැයවන පිරිවැය එකතු වෙන්නේ කාටද?. වගාවට හානියක් වුවහොත් එය අවම කිරීමට තවමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සැලසුමක් තියෙන බවක් පේන්න නෑ

අනෙක් කරුණ තමයි රසායන පොහොර යෙදීමේදීත් අද විශාල වශයෙන් අවභාවිත වෙනවා. අපි මුලින්ම ඒවා නැවැත්විමට විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතුයි. උදාහරණයක් හැටියට යූරියා යෙදීමේ අනුපාතිය රටේම එකක්. නමුත් යූරියා අවශ්‍යතාව පොළොන්නරුවට සාපේක්ෂ ව අනුරාධපුරේ අරලගංවිල හෝ කුරුණැගල වෙනස් වෙන්න පුළුවන්. නමුත් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොදුවේ නිර්දේශ කරන්නේ හෙක්ටයාරයකට යුරියා කිලෝ ග්‍රෑම් 210ක්. පසේ  තත්ත්වය මත ශාකයේ පවතින ප්‍රමාණය මත  එය කළමනාකරණය කරනවා නම් අපට බොහෝ දුරට  මෙය මඟ හරවා ගත හැකියි.

ප්‍රශ්නය – අද රටම මේ තත්ත්වය තුළ පවතින්නේ අවිනිශ්චිත ව්‍යාකූල පසුබිමක මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වහා කළ යුතු යයි ඔබ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර-  මේ කාබනික පොහොර ගේන තීරණය වහා අත්හිටුවිය යුතුයි.   අපට අනිවාර්යයෙන්ම අඩුම තරමින් පෙර ගෙන්වූ ප්‍රමාණයෙන් සියයට 50ක්වත් මූලික වශයෙන් පොහොර ගෙන්විය යුතුයි. ඉතිරි ටික කාබනික පොහොර මඟින් කළමනාකරණය කර ගත හැකියි. මම හිතන්නේ පොහොර සහනාධාරයත් අනවශ්‍ය දෙක්. එය ගොවියාගේ යැපුම් මානසිකත්වය ඇති කරන දෙයක් සහ රටේ සල්ලි විනාශ වෙන එක හැර වෙන දෙයක් නෑ. කළ යුත්තේ ගොවියාගේ යෙදවුම් පිළිබඳව සලකලා නිෂ්පාදනවලට හොඳ මිලක් ලබා දීමයි. එය සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතරේ ගොවියා වෙනුවෙන් උසස් ත්ත්වයේ බීජ ලබා දීම, ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අශය දේ කිරීමට වැඩපිළිවෙළක් දියත් විය යුතුයි. පොහොර අවභාවිතය පාලනය කළොත් අපට සියයට 50කින් පමණ මේ පොහොර භාවිතය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය පාලනය කළ හැකියි. එයන් අපට රටක් ලෙස විශාල මුදලක ඉතිරි කර ගත හැකියි.  කාලගුණික විපර්යාසවලින් එන අභියෝග අවම කිරීමේ යාන්ත්‍රණ වැඩ පිළිවෙළ සකස් කළ යුතුයි. මේ වැඩපිළිවෙළ තුළින් අප මූලිකව අරමුණු කර ගත යුත්තේ ආහාර සුරක්ෂිතතාව. එය බිඳ වැටුණොත් එයින් සිදුවිය හැකි අනතුර ඉතා දරුණුයි.මෙය රටේ ආරක්සාව බිඳ වැටීමට වඩා බරපතල ප්‍රශ්නයක් බව වටහා ගත යුතුයි

 

 

Exit mobile version