පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
ඇමතිවරයා පැවසුවේ සියලු පරීක්ෂණ මෙන්ම පොලිසියේ හා අපරාධ විමර්ශන අංශවල ක්‍රියාකාරීත්වය කිසිම දේශපාලන බලපෑමකින් තොරව සිද්ධ වන බවය.
එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ.
නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා.
ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි.
දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. එම නිසා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.
ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් හිමි වන්නේ නැහැ.
පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වුණා. මීට අමතරව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙනුත් සොයා බැලීම් සිදුකරනවා.
ඒ වගේම රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමටත් පියවර ගන්නවා.