පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ!

විදුහල්පති ඇතුළු ගුරුවරු 06ක් අත්අඩංගුවට...

පාසල් පාලන අධිකාරයේ අමානුෂික පහරකෑමකට ලක් වූ  මහනුවර ප්‍රදේශයේ පුද්ගලික පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබන සිසුන් 05 දෙනෙක් සහ සිසුවියන් 05 දෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර විදුහලේ විදුහල්පති ඇතුළු  ගුරුවරු 06 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

මේ වනවිට චූදිත විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ (12)  දවල් දළදා මාළිගාවේ මගුල් මඩුවේ බොහෝ වේලාවක්  රැඳී සිටි  තරුණ ගැහැණු  සහ පිරිමි ළමයින් කණ්ඩායමක් සම්බන්ධව මාළිගාවේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු වී තිබේ.


පොලිසිය මෙම දරුවන් අසලට ගොස් මෙසේ බොහෝ වේලාවක් රැඳී සිටීමට හේතුව කුමක් දැයි විමසා ඇත.

දරුවන් පවසා ඇත්තේ තමන් බොක්කාවල ප්‍රදේශයේ පුද්ගලික පාසලක නේවාසිකව ඉගනුම ලබන බවය. පාසල තුළදී තමුන්ට දැඩි ලෙස පහර දුන් බවත් යළිත් පාසල් නේවාසිකාගාරය වෙත යෑමට බියෙන් යන එන තැනක් නොමැතිව දළදා මාළිගාවේ මගුල් මඩුවේ රැඳී සිටින බව දරුවන් පොලිසිය ට දන්වා ඇත.

මේ කතාව විමසූ පොලිස් නිලධාරීන් දරුවන්ට පවසා තිබුණේ තත්ත්වය මෙසේ නම්  පොලිසිය  මෙය විසඳා දෙන බවය. අනතුරුව දරුවන් පොලිසියට රැගෙන ගිය එම නිලධාරීන් පිරිස ළමා හා කාන්තා කාර්යාංශයද සම්බන්ධ කරගෙන විමර්ශන ආරම්භ කළේය

සිද්ධිය වී තිබුනේ බොක්කාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රීජන්සි නම් පුද්ගලික පාසලක් තුළය.මෙම පාසලේ ගුරුවරු 64 දෙනෙක් ළමුන් 190ක් සඳහා අධ්‍යාපනය ලබා දෙති. ඒ ගුරුවරුන් අතරින් කාන්තා ගුරුවරු 18කි. පිරිමි ගුරුවරු 48කි.  අක්කර 06ක් පුරා පැතිරී ඇති භූමියක පිහිටා ඇති පාසලේ කම්කරුවන් ඇතුළු අනධ්‍යයන සේවකයින් 07ක් ද වෙති.

ළමයෙකුගෙන් එක් වාරයක් සඳහා රුපියල් තිස් පන්දහසේ සිට හතලිස් දහස දක්වා මුදලක් අධ්‍යයන කටයුතු සඳහා අය කරන බවත්, නේවාසිකාගාර පහසුකම් සඳහා වෙනම වියදම් දැරිය යුතු බවත් විමර්ශනයේ දී හෙලි විය.

මෙම තොරතුරු වාර්තා කරගැනීමෙන් අනතුරුව මගුල් මඩුවේ දී හමුවුණ දරුවන් පොලිසියේ රඳවා පොලිස් කණ්ඩායමක් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පාසල පරීක්ෂා කිරීම සඳහා ගොස් තිබිණි.

එහිදී කෲර ලෙස පහර දීමට ලක් වී තුවාල සහිතව නේවාසිකාගාරයේ සිටි දරුවන් පිරිසක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වී ඇත. එම දරුවන් සමග පොලිසියට හමුවූ දරුන් අතරින් කිහිප දෙනෙක් ද සමග ගැහුණු දරුවන් 05ක් සහ පිරිමි දරුවන් 05ක් මහනුවර ජාතික රොහලට ඇතුළත් කීරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මෙසේ පහර කා  තුවාල ලද  දරුවන් අතර කම්බියක් ආධාරයෙන් සිය දිවි නසා ගැනීමට තැත් කළ දරුවෙක් ද සිටිනා බව වාර්තා වේ.

අනතුරුව සිදුකළ  පරීක්ෂණය අනුව විදුහල්පති ඇතුළු ගුරුවරු 06ක් අත්අඩංගුවට  ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධව විදුහල්පති ඇතුළු ගුරුවරුන් පවසා තිබුණේ පාසලේ නේවාසිකව ඉගනුම ලබන සිසුවියන් 5ක් සිසුන් පහක් සමග නේවාසිකාගාරයේ කාමරවල සිට හසුවීමෙන් ඔවුන්ට දඬවම් කිරීමට සිදු වූ බවය.

මේ සම්බන්ධව විමසීමක් කළ විට  මහනුවර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේ  මෙම විදුහල පවත්වාගෙන යෑම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

විද්‍යාලය කුමණ පදනමක් යටතේ අධයාපන ආයතනයක් ලෙස  පවත්වාගෙන යන්නේ ද,  මෙවැනි කෲරත්වයකට ළමුන් භාජනය වූයේ ඇයි?, මේ ගුරුවරුන් වෘත්තීමය අවශ්‍යතා සම්පූර්ණ කළ ගුරුවරු ද?, යන්න මුලින්ම විමර්ශනයට ලක් කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසලේ ළමුන් 190ගෙන් වෙනම ප්‍රකාශ ගන්නා බවත්, දෙමව්පියන් කැඳවා ඔවුගෙන්  විශේෂ ප්‍රකාශ සටහනක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය. අනතුරුව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් අධිකාරීවරයා කීවේය.

Exit mobile version