පාර්ලිමේන්තුව ආරක්ෂා කර දීමේ විශිෂ්ට ක්‍රියාන්විතයේ යෙදුණු හමුදා සෙබලුන්ට ප්‍රණාමය පුද කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ගියේය.
යුද හමුදා මූලස්ථානයට පැමිණි ජනාධිපතිතුමාට විශේෂ යුද හමුදා උත්තමාචාර පිළිගැන්විනි.

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව එහිදී ජනාධිපතිවරයා පැවසීය.
පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් අමතමින් මෙසේ ද කීවේය.
ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 03ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 03 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ.
සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 09 වනදා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා. පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුනේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන “අරලියගහ මන්දිරයත්” අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.
13 වනදා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසිම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරිනම් රටේ ආණ්ඩුවක් නැහැ.
අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කථානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාටත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලුදෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.
ඒ අනුව පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළග දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.
මේක, උතුරේ දැක්ක විශාල සටන් වගේ නෙවේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.







