කොවිඩ් වසංගතය රට බරපතල ලෙස වෙලාගෙන ඇති අවස්ථාවක රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවයන්ට ඉඩ නොදී රුපියල් ලක්ෂ 364ක් වියදම් කරමින් මීටර් 1700ක් දිග ඇවිදින මං තීරුවක් පරාක්‍රම සමුද්‍රයේ වෑ කන්ද මත නිර්මාණය කිරීමට එරෙහිව අද (27) පොලොන්නරුව ප්‍රදේශයේ මහා සංඝයා සහ ගොවි සංවිධාන 35 නියෝජිතයෝ සිය විරෝධතාවය පළ කළහ.
මේ පිරිස පැහැදිලිව කියා සිටියේ මේ මං තීරුව ගොවි ජනතාවගේ හෝ පොලොන්නරුව වැසියන්ගේ හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ මතු නොව, මේ අවස්ථවේ මේ රටේ ප්රමුඛ අවශ්‍යතාවයක් නොවන බවය.
වෑකන්ද මත රළපනාවේ ගල් විතැන් කරමින් මේ කටයුතු සිදුකරන ස්ථානයට වැඩම කළ හිමිවරු සහ ගොවි සංවිධානවල පිරිස් වාරිමාර්ග ඉංජිනේරුවරයාට පැහැදිලිවම කියා සිටියේ මේ ඉදිකිරීමට තමන් එරෙහි බවත්, එය දේශපාලන අධිකාරියට දන්වන ලෙසත්ය.
එවිට වාරිමාර්ග ඉංජිනේරුවරු මේ ඉදිකිරීම නිසා වෑ කන්ද ශක්තිමත් වන ආකාරයත්, ඉන් වැවේ ජල ධාරිතාවට කිසිම ආකාරයේ හානියක් නොවන ආකාරයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශතයක ප්රතිපාදනයක් මේ ඉදිකිරීමට යොදා නොගන්නා ආකාරයත් පැහැදිලි කිරීමට උත්සාහ කළ ද පැමිණ සිටි පිරිස් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.
අවසානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පිරිස් දේශපාලන අධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් පොරොන්දු වීමත් සමග පිරිස විසිර ගියහ.
මේ වනවිට ඇවිදින මං තීරුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.