නුවරට එක එන්නත් මාත්‍රාවක් විතරයි!…එන්නත දෙන්නෙ ලිඛිතව කැමති කරගෙන…

Sputnik v

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයේ දී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට කැමති බව කරන ප්‍රකාශයක් සඳහා එකඟ කරවාගෙන  පුද්ගලයන් වෙත එන්නත ලබා දීමට කටයුතු කරමින් තිබේ.

ඊයේ  (30) ස්පුට්නික් -V එන්නත ලබාදීම මහනුවර කුණ්ඩසාලයෙන් ආරම්භ කළ අතර දහසකට ආසන්න ප්‍රමාණයකට එම එන්නත ලබා දී ඇත්තේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමේ එකඟතාවය මතයැයි වාර්තා වේ.

දෙවන මාත්‍රාව ලබා ගැනීමේ අවදානමක් ඇති බව වාර්තා වීමත් සමග පෙරේදා දිනයේ හදිසියේ සැකසූ රබර් මුද්‍රාවකින් “ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි“ යන්න සටහන් කර මෙම එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇත.

එන්නත් පනස් දහසක්  මහනුවර දිස්ත්‍රික්කය තුළ ලබා දෙන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මින් පෙර ප්‍රකාශ කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රකාරව කොවිඩ් එන්නතකින් ලැබෙන ප්‍රතිශක්තියේ සාර්ථකත්වය සහතික කිරීමට මාත්‍රා දෙක ලබාදිය යුතුය.  එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සැක සහිත බැවින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන එන්නත ලබාදීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.   එම උපදෙස් අනුව මේ තීන්දුව ගෙන ඇති බවත්,   මාත්‍රා දෙක කළමණාකරණය කරගත නොහැකි නම් එක් මාත්‍රාවක් පමණක් ලබා දෙන්නේ කුමණ විද්‍යාත්මක පදනමක් මතදැයි නොදන්නා බවත්, සෞඛ්‍ය අංශ බලධාරියෙක් ලංකාසරට පැවසීය.

දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලබා නොදීමේ සැලසුමක් තිබේද යන්න නොදන්නා බව ඔහු වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර ලෝකයේ සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දුන්නේ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම හේතුවෙන් විකෘති කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින බවත් බ්‍රසීලය හා මහා බ්‍රිතාන්‍යයේ සිදු වී තිබුණේ එය යැයි සැක කරන බවත්ය.


Exit mobile version