නුවරඑළියේ දී ඇස් ඉදිරිපිට පරවෙන්න නියමිත දරු කැකුළු 3000ක් ගැන දිස්ත්‍රික් ලේකම් කියයි..

kids

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයේ පසුවන දරුවන් 3000 ක් පමණ සිටින බවත් වැන්දඹුවන් 46000ක් ජීවත්වන දිස්ත්‍රික්කය තුළ ඔවුන්ගේ දරුවන්ද ඉතාම අනාරක්ෂිත තත්වයක පසුවන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසයි.
දිස්ත්‍රික්කය පුරා සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවත් මෙම දරුවන් දැඩි අවදානම් සහ අවදානම් ලෙස වර්ග කර තිබෙන බවත් ඔහු කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ විසින් දුන් උපදෙස් මත මධ්‍යම පළාත සඳහා ළමා සුරක්ෂණ වැඩපිළිවෙළක් ඇති කිරීම සඳහා ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේදී පැවැති රැස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් 23% ක් ළමයි. මේ අය අතරින් අධි අවදානම් සහ අවදානම් ලෙස අපි ළමුන් වර්ගීකරණය කළේ නිසි අධ්‍යන්‍යයකින් පසුවයි. දෙමව්පියන් නොමැති, මව හෝ පියා පමණක් සිටින දරුවන් විශාල පිරිසක් සිටිනවා. තවත් දරුවන් ඉන්නවා ආච්චි හෝ සීයා සමඟ ජීවත් වෙන. අසනීප තත්ත්වයේ පසුවන දරුවන්ද ඉන්නවා. දිවා කාලයේදී මේ දරුවන් ගැන සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ.


වැන්දඹුවන් 46000ක්

අනේක විශේෂ කාරණය වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැන්දඹු කාන්තාවන් 46000 ක් සිටීමයි. මේ වැන්දඹු කාන්තාවන් අතරින් බහුතරයකට ළමුන් ඉන්නවා. සැමියා අතහැර යාම හෝ මියයෑම නිසා මේ කාන්තාවන් අසරණ තත්ත්වයක සිටිනවා. මේ නිසා ඔවුන්ගේ දරුවන්ද දැඩි අනාරක්ෂිත තත්ත්වයක පසුවෙනවා. නිසි සොයා බැලීමක් කරන්න කවුරුවත් නැති නිසා අවදානම් සහ දැඩි අවදානම් ලෙස හඳුනාගෙන සිටින දරුවන් බොහෝ දෙනෙක් බාල වයසේදීම පාසැල් ගමන අත්හරිනවා. මෙයත් විශාල ගැටලුවක්.

වතුකරය ගත්තොත් වතුකම්කරු පවුල් කිහිපයක් කුඩා නිවසක ජීවත් වෙනවා. දරුවෝ ටිකක් ලොකු වෙනකොට මේ පවුල් වලට ලොකු ආර්ථික පීඩනයක් එල්ල වෙනවා. අනෙක් පසින් ජීවත් වීමට නිවසේ ඉඩකඩත් මදි වෙනවා. මේ නිසා ගොඩක් ගෙවල් වල වැඩිහිටියෝ දරුවන් නිවෙස් වලින් කැමැත්තෙන්ම පිටමං කරන්න පෙළඹෙනවා. ඒක එක්තරා අන්දමක සහනයක් විදිහට තමයි දෙමව්පියන් සලකන්නේ. දරුවන් මෙහෙකාර සේවයට ලබාදීම මගින් එක්තරා පැත්තකින් පවුලේ බර අඩු වෙනවා වගේම පවුලට ආදායමක්ද ලැබෙන නිසා ඇතැම් දෙමව්පියන් කැමැත්තෙන්ම දරුවන්ව මෙහෙකාර සේවයට දෙනවා. තැරව්කරුවන් මගින් මේක ක්‍රියාත්මක වෙනවා.

වතු පාසල්වල 8 පන්තියෙන් ඉහළට ළමයි අඩුයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වතුකරයේ පාසැල් වල අටේ පන්තියෙන් එහාට ළමයින් ඉගෙන ගන්න එනවා අඩුයි. පාසැල් නොගොස් කීයක් හරි උපයා ගන්න රැකියාවක් කරන්න ළමුන් පෙළඹෙනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකවන ආයතන රැසක් ලංකාවේ තිබෙනවා. මේවා අතර සම්බන්ධීකරණයක් නොමැති වීම විශාල අඩුපාඩුවක්. වතුකරයේ අනාරක්ෂිත දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මේ සියලු ආයතන ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

Exit mobile version