නිතියට පිට ගුරුවරු දඩයම් කරන්නටට බැරි වුණු හොරණ පොලිස් ස්ථානාධිපතිට වුණු දේ

ගුරු අරගලය සම්බන්ධව සමාජ හෘදය සාක්ෂිය අවදි වුණු මොහොතක්...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැටුප් විෂමතා ඉවත්කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් කළුතර දිස්ත්‍රික් ගුරු සංගම් විරෝධය පැවැත්වෙන්නේ ඉකුත් ජුනි 26 වෙනිදාය. ඒ හොරණ නගරයේදීය.

පෙර දිනයේ හොරණ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ පොලිස් ප්‍රධානියෙකුගෙනි. ඔහු ස්ථානාධිපතිවරයාට උපදෙස් දෙන්නේ විරෝධයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ගන්නැයි කියාය. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමක්ද මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා කළේය.

අනතුරුව උපදෙස ලැබෙන්නේ උද්ඝෝෂණයේ නිරතව සිටින ගුරුවරුන් දෙතුන් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙසය. ඉදිරිපෙළ සිටින නායකයින් අත්අඩංගුවට නොගන්නා ලෙසත් පසුපසින් එන සාමාන්‍ය ගුරුවරුන් ඉලක්කකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට එම පොලිස් ප්‍රධානියා උපදෙස් දුන්නේය.

එම උපදෙස් උද්ඝෝසණය මැඩලීමට යන්නට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහිදී නිලධාරීන් බහුතරයකගේ මතය වූයේ එම උද්ඝෝසණයට සහභාගිවන්නේ ගමේ පාසල්වල ගුරුවරුන් බැවින් හදිසියකට පොලීසියට සිටින්නේද ගමේ පාසල බවය. ඉහළ නිලධාරීන්ගේ දැනුම් දීම්වලට අනුව පාසල්වල දරුවන්ට දේශන තියන්නත් පාසල් දරුවන් කේන්ද්‍රකරගත් වැඩ සටහන් සඳහා යන්නේත් එම ගුරුවරුන් සොයා නිසා ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සුදුසු නැති බව බහුතරයක් වූ නිලධාරීන්ගේ මතය වී තිබුණි.

එසේම එම ගුරු උද්ඝෝෂණය නිසා සාමය බිඳ වැටීමක් සිදු නොවන බව මෙන්ම ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණ බවද පොලිස් නිලධාරීහු කීහ. තමන්ටත් උද්ඝෝෂණය කිරීමේ අයිතිය තිබුණි නම් මුලින්ම පාරට බසින්නේ පොලීසියේ නිලධාරීන් බවද ඒ අතර සිටි ඇතැම් නිලධාරීන් පවසා තිබුණේය.

කෙසේ වෙතත් නියමිත දින උද්ඝෝෂණය අවසන් වන විට ගුරුවරුන් තිදෙනෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේය. ඒ බව ඉහළ නිලධාරීන්ටද දැනුම් දුන්නේය. ඉහළ නිලධාරීන්ද ඒ ගැන සතුට පලකළේය. අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරුන්ගේ නම් සහ ලිපිනයන් තමාගේ කාර්යාලයට එවන ලෙසද උසස් නිලධාරියා කීවේය.

වැඩේ හෙළි වන්නේ එවිටය. ඒ අත්අඩංගුවටගත් තිදෙනොම දෙමළ ජාතිකයන්ය. ඒ තිදෙනාගේම පදිංචිය වූයේ එකම පැත්තකය. ඒ හොරණ පිහිටි වත්තකි. ඒ ගැන සැකසිතූ උසස් නිලධාරියා යම් සොයා බැලීමක් කිරීමේදී පෙනී යන්නේ හොරණ පැත්තේ වත්තක වෙනත් වරදක් සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙක් ගුරුවරුන් ලෙස ඉහළට පෙන්වීමට පොලීසිය කටයුතුකර ඇති බවය.

ඒ අනුව දැන් ඒ ගැන විමර්ශනයක්ද පැවැත්වෙන අතර හොරණ පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කිරීමටද නිර්දේශ ඉදිරිපත් වී ඇත.

Exit mobile version