නැගෙනහිර පුරාවස්තු රැකීමේ වගකීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අතට

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට  ගෙන මෙම පියවර ගෙන තිබේ. එසේම  ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට ඊයේ  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපති රාජපකෂ මේ බව පැවසීය.


බුදු දහමට  සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව  මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව හෙතෙම පැවසීය

පිරිවෙන්  සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්වය   බෞද්ධ උපදේශක සභාවේ දීර්ඝ සාකච්ඡාවට ලක් විය.  සාහිත්‍යය සහ ඉතිහාසය විෂයන් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් කිරිමට ඇතැම් වකවානුවල පියවර ගත් බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකත්වය සහ ප්‍රමුඛත්වය අධ්‍යාපනයට දී ඇති බවත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ දැනටමත් අරඹා ඇති බව සඳහන් කළේය.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කළහ. ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

ව්‍යාකූල වූ සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ සහ දේශපාලනඥයන් අතර ගැටුම් අවුළුවන මාධ්‍ය හැසිරීම මහා සංඝරත්නයේ විවේචනයට ලක් විය.

 ලොව සියලු රටවල් කොවිඩ් පරාජය කිරීමට රජය ගත් පියවර අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර, ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.   ජනාධිපති ප්‍රධාන උපදේශක  ලලිත් වීරතුංග ද සාකච්ඡාවට එක් විය.

Exit mobile version