නවාතැන් නෑ… ඇසළ පෙරහරේ එකම කාන්තා නර්තන කණ්ඩායමට ගැටලුවක්…

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කාන්තාවන් සහභාගීවන එකම අවස්ථාව වන පත්තිනි දේවාල පෙරහරේ ශිල්පීන්ට නවාතැන් සැපයීමට නොහැකිවීම නිසා අවුල් සහගත තත්වයක් ඇති වී තිබෙන බව අද පැවති පෙරහර කමිටුවේ දී හෙළිදරවු වූයේය.

මේ තත්වය උද්ගතවී ඇත්තේ මේ තාක් මෙම පෙරහරට සහභාගීවන නර්තන ශිල්පිනියන් වෙනුවෙන් නවාතැන් සැපයූ පැරණි ලක්සල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරගැනීමට නොහැකි වීමත් පවතින කොවිඩ් වසංගත තත්වය මත වෙනත් නවාතැන් ස්ථානයක් සපයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවීමත් නිසා බව පැවසිනි.

පත්තිනි දේවාලයේ නර්තන කණ්ඩායම් සඳහා සහභාගි වන කලා ශිල්පිනියන්ට පෙරහරින් පසුව නවාතැන් පහසුකම් ලබා දෙන පැරණි ලක්සල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හා පත්තිනි දේවාල පරිපාලනය අතර ඇති වී තිබෙන ගැටුමක් හේතුවෙන් සැලසුම් කළ පිරිදි එම ප්‍රතිසංස්කරණ නිමා කිරීමට නොහැකි වීම නිසා මේ ගැටලුවට උද්ගත වී ඇතැයි පෙරහර කමිටුවේ දී හෙළි වී ඇත.

Old-Laksala-Bulding
පැරණී ලක්සල ගොඩනැගිල්ල…

දෙදහස් විස්සේ දෙසැම්බර් මස එම ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටී තිබේ. පෙරහර කමිටුවේ සාකච්ඡාවේ දී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේවන හේමන්ත බණ්ඩාර කියා සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලිඛිත අවසරය ලැබී තිබුණද , ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් යන අවස්ථාවේ පුරා විද්‍යා බලධාරින් පැමිණ වාචිකව එම කටයුතු නතර කර දමන ලෙස දැනුම් දුන් බවය. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් ප්‍රධානීන්ද දැනුවත් කළත් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරින් මෙම කටයුතු නතර කර දමන තැනට වැඩ කර ඇති බවය.

අදාල ගොඩ නැගිල්ල 1815 මහනුවර නගර සැලැස්මේ සඳහන් නොවූ නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලදුව 1865 දි මහනුවර නගර සැලැස්මේ සඳහන්ව ඇති ගොඩනැගිල්ලකි.  දළදා මාළිග පරිශ්‍රයේ ඇති කතෝලික පල්ලිය ඉදිකිරීමට සමගාමීව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පසු කාලීනව පොලිස් උසාවි පැරණි ගොඩනැගිල්ල ලෙස නම්කොට තිබිණි.

1985 වසරින් පසුව මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇත්තේ ලක්සලය. නමුත් 1994 දි ලක්සල ද එතැනින් ඉවත්කොට තිබේ. අනතුරුව එය අත්හරින ලද ගොඩනැගිල්ලක් ලෙස පැවැතී ඇත. එම ගොඩනගිල්ලේ භාරකාරිත්වය පැවතී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේය.

නමුත් ගොඩනැගිල්ල මහනුවර පත්තිනි දේවාල භූමියේ පිහිටා ඇති බැවින් ද ඒ වන විටත් පෙරහර ට සහභාගි වන ශිල්පිණියන් සඳහා නවාතැන් දිමට යොදා ගන්නා බැවින්ද ගොඩනැගිල්ල දේවාලයට පවරා ගැනීම පිණිස එවකට නිළමේවරයා කටයුතු කර ඇත. ඒ අනුව 2016 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමේන් මෙම ගොඩනැගිල්ල පත්තිනි දේවාලය වෙත පැවරී ඇත.

නමුත් මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ගොඩනැගිල් පවරා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. ගැසට් පත්‍රයකින් තොරව සිදුකරන ලද මෙම පවරා ගැනීමෙන් මේ වන විටත් අර්බුද රැසක් මතුව තිබෙන බව පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන පත්වීමක් ලැබ ඇති අමාත්‍යංශ ලේකම්වරයකු මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉඩ නොදෙන බව තමා හොදින්ම දන්නා බවද නිළමේවරයා ප්‍රකාශ කළේය.


Exit mobile version