යළිත් අප අත් විඳින්නේ අහිමිරි පරාජයකි. බංගලියන්ගෙන් පරාදය. බංගලියන් නයි පෙන්නුවේත් නැත. නැටුවේත් නැත. කඩුලු ලබාගෙන අත පය වනමින් බෙරිහන් දුන්නේත් නැත. පිට පිට හයේ පහර ගසා ෂෝ දැම්මේත් නැත. උන් වැදගත් විදිහට තරගය දිනා ගත්හ. සුපිරි 08 දෙනා අතරට යන හීනය දැන් අපට බොහෝ දුරය.

මේ තණතීරුව ගැන කතා කියන්නට අවශ්‍ය නැත. හොඳට කළ උන් ප්‍රතිඵල ගත්හ. පැතුම් නිශ්ශංක පන්දු 28ක දී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 47ක් ගත්තේය. තව්හිඩ් හිඩ්‍රොයි පන්දු 20ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 40ක් රැස් කළේය. ගහන එකාට ගහන්න පුලුවන්කමක් තිබිණි.
පන්දු යැවීමත් එසේය. මුස්ටෆිසුර් රහ්මාන් ලකුණු 17ට කඩුළු 03ක් ගත්තේය. රිෂාඩ් හොසේන් ලකුණු 22ට කඩුළු 03ක් ගත්තේය. නුවන් තුෂාරත් ලකුණු 18 කඩුළු 4ක් බිඳ හෙළුවේය. පන්දු යවන්නන්ටත් මේ තණ තීරුව සාධාරණ වුනේය.
නටන්නට බැරි උන්ගේ පොළොව ඇදය. දැන් කතා කරන්නට දෙයක් ඉතිරි වී නැත. ලකුණු 150ක් පමණ අවමයක් පෙනෙන තණ තීරුවක් මත අලජ්ජි නොහැකියාව සහිතව ලකුණු 124කට දැවී ගිය විට මීට වඩා දෙයක් අපේක්ෂා කළ හැකි නොවේ.
බංගලාදේශ කණ්ඩායම කාලයකට පසු හොඳම ක්‍රිකට් ගැසුවේය. සැලසුම් කර එම සැලසුම් සාර්ථක කරගත්තේය. ඔවුන්ට බරපතලම ගැටලුව වී තිබුණේ කුසල් මෙන්ඩිස්ය. සිම්බාබ්වේ කණ්ඩායමටත් ෆේල වී නන්නත්තාර වී සිටි කුසල් මෙන්ඩිස් ගොඩ ආවේ බංගලාදේශයට තැලීමෙනි. ඔහු සිය ක්‍රිකට්වල හොඳටම ගැහුවේ බංගලියන්ටය. ඒ නිසාම කුසල් මෙන්ඩිස් දවා ගැනීම බංගලි සැලසුම් අතර ප්රමුඛව පැවතිනි. මුල් කඩුල්ල ලෙස පන්දු 08ක දීලකුණු 10කට කුසල් මෙන්ඩිස් බංගලි පන්දු යවන්නන් විසින් දවා ගත්තේය.
කමිඳු මෙන්ඩිස් ලකුණු 04කි. ධනංජය ද සිල්වා ලකුණු 21 කි. චරිත් අසලංක ලකුණු 19කි. මුල් තරගයේ දීමෙන්ම මේ තරගයේදීත් වනිඳු බිංදුවය. මුල් තරගයේ දෙවැනි පන්දුවෙන් දැවී ගියේය. මේ තරගයේ පළමු පන්දුවෙන් දැවී ගියේය. දසුන් ශානක දැන් විස්සයි 20ත් බැරි බව පෙන්නුවේය. තුන් ඉරියව්වෙන් අහවල් ඉරියව්වක්වත් නැත. ඔහු ලකුණු 3කි. නුවන් තුෂාර විසින් ගොඩ නගා ජයග්‍රහණය සම්බන්ධව යම් බලාපොරොත්තුවක් ඇතිව නිමා කළ පන්දු වාරයෙන් පසු පන්දු යැවීමට පැමිණි දසුන් ශානක කළේ පන්දු යැවීම නොව පන්දු ප්‍රදානයකි. පන්දු ඕවර 2ක දී ලබාගැනීමට තිබූ ලකුණු 11ක ඉලක්කය ඔහු සිය පන්දු වාරයේදීම බංගලියන්ට ලබා දුන්නේය.
ශ්‍රි ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුනු 125කි. කඩුලු 8ක් දැවි තිබිණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණඩායමේ මුල් කඩුළු දෙක ලකුණු 06කට දැවී ගියේය. තුන්වන කඩුල්ල දැවී යනවිට ලකුනු පුවරුව ලකුනු 28කි. එහෙත් සිව්වන කඩුල්ල වෙනුවෙන් තව්හිඩ් හිඩ්‍රොයි සහ ලිටොන් දාස් ලකුනු 63ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.
වනිඳු හරංගට අනුකම්පා විරහිත ප්‍රහාරයක් තව්හික් හිඩ්‍රෝයි එල්ල කළේය. ඔහු එල්ල කළ හයේ පහර 04ම හසරංගටය. 12 වැනි ඕවරයේ මුල් පන්දු තුනටම ඔහු පිට පිට හයේ පහර තුනක් සහිතව හසරංට සංග්‍රහ කළේය. ඒ ඕවරයේ සිව්වන පන්දුවට ඔහු හසරංග හමුවේ දැවී ගියේය. ඒත් ඒ වනවිට සිදුවිය යුත්ත සිදුවී හමාරය. 4වන කඩුල්ල දැවී යන්නේ ලකුණු 91 දී ය.
එහෙත් යලිත් වරක් තරගය තමන් වෙතට නතු කරගැනීමට හැකි බවට ඉඟි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පෙන්නූහ. 18 වැනි පන්දු ඕවරය නිමා වනවිට බංගලි කඩුළු 08කි. ජයග්‍රහණයට ලබා ගත යුතු ඉලක්කය ලකුණු 11කි. එක් අන්තයක පිතිකරු මහමදුල්ලාහ් ය. නෙක් අන්තයේ පිතිකරණය නුහුරු ටන්සිම් හසන් සකිබ් ය. පන්දු යවන්න ගෙන්වන්නේ දසුන් ශානකය.
පන්දුවට පහර දෙමින් සිටි මහමදුල්ලාහ් ට දසුන් ශානක එවන පළමු පන්දුවම මන්දගාමී ෆුල්ටොස් පන්දුවකි. පන්දුව ප්‍රේක්ෂාගාරයේ ය. තරගය එතැනින්ම නිමා වූ බව සහතිකව පෙනුණි.
බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවරයක් ඉතිරිව තිබිය දී ලකුණු 125ක ඉලක්කය ලබා ගත්හ. ඔවුන් කඩුළු 02කින් දිනුම් ය.
තවත් අපට හීන දකින්නට ඉඩක් නැත. අල්ලා පොළොවේ ගසා අපව පියවි ලොවට අරන් ආවට වනඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුති ය.








