මනම්පිටිය නිමල් ජයරත්න
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳ තමා සතුටු වන බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳ ජාතික ක්‍රිඩා සභාව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව, වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේය.
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මහවැලි සංස්කෘතික ශාලාවේ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව අද (28 ) සවස මාධ්‍යවේදීන් ධනුෂ්ක ගුණතිලක නිදහස් කිරීම පිලිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණසිංහ ඒ බව කීය.
රොෂාන් රණසිංහ ඇමතිවරයා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳ මෙසේද පැවසීය.
“ධනුෂ්ක ගුණතිලක මහතා නිදොස් වීමත් සමඟ අප විසින් ක්‍රීඩා කිරීමට පනවා තිබූ තහනම සම්බන්ධයෙන් සලකා බලනවා. ඔහුට පනවා තිබෙන කොන්දේසි මොනවද කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම ජාතික ක්‍රීඩා සභාව සමග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව ශ්‍රි ලංකාව තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ සලකා බැලීමකුත් සිදු කරන්නට අපේක්ෂා කරනවා. ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් වගේම ජාතික ක්‍රීඩකයෙක්.”