දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට විපක්ෂය පූර්ණ සහාය දක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රජය දේශබන්දුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, විපක්ෂය එයට සහාය දීමට සූදානම් බවත්ය.
“පසුගිය රජයේ පාලන සමයේදී අපි දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට විරුද්ධ වුණා. ව්‍යවස්ථාදායක සභාවේදී ඔහුගේ පත්වීමට එරෙහිව අපි ඡන්දය දුන්නා.”
දේශබන්දුගේ පත්වීම තවදුරටත් විවේචනය කරමින් ඔහු කියා සිටියේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවයි.
“මෙම ව්‍යවස්ථා උල්ලංඝනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු කථානායකවරයා වගකිව යුතුයි. ඔවුන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවීම් සම්පූර්ණයෙන්ම විකෘති කළා, රටේ උත්තරීතර නීතිය අමු අමුවේ නොසලකා හැරියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු කථානායකවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කළා.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.







