දෙවේලේ ඇහුනත්   අපි නොදන්න කන්දකාඩුව

උපේක්ෂා උඩුවරැල්ල –

යළි කොවිඩ් 19 වෛරස ආසාදිත රැල්ලක් සමාජ ගත වීමත් සමග කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුතථාපන මධ්‍යස්ථානය පිළිබද රටේ විවිධ කතාබහ ඇති වෙමින් තිබේ. එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ පොළොන්නරුව නගරයෙන් වයඹ සහ බටහිර දෙසට වන්නට පිහිටි සෝමාවතිය , සුංගාවිල, කන්දකාඩුව , සේනපුර , වැලිකන්ද ආදි ප්‍රදේශ මුදාගනු ලැබූයේ දෙදහස් හයවසරේදීය.

කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් බවට පත්වූයේ වසර දෙදහස් අටේදිය. කලෙක රට සශ්‍රීක කළ ගොවි සම්පතක්ව තිබී පසුව  අතහැර දමා තිබූ කන්දකාඩු ගොවිපල  සකසා එල්ටීටිඊ  සොල්දාදුවන් වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරක් ඉදිවුණි. පුනරුත්ථාපනය ලැබූ  ඔවුහු  ඒ ආසන්නයේ වන ගොවිපොලක් වෙත යොමුකරනු ලැබූහ. වසර දෙදහස් දහ තුනේ අගෝස්තු මස විසිවැනි දින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය මගින් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්  ඉදිකළේය.

“කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය” හි අධ්‍යක්ෂ කර්නල් චමින්ද පැස්කුවෙල්ෙය. ඔහු සමග තවත් හමුදා නිළධාරින් ද උපදේශන නිළධාරිහු ද වෙති.


ආධුනිකයින් රැළි තහඩුවට

ඉතා නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ බිමෙහි පැහැදිලි ලෙස ගොඩනැගිලි කොටස් තුනකට වෙන්කොට තිබිණි. රැලි තහඩු කොටස පළමුවැන්නය. පුනරුත්ථාපන කඳවුරේ මුල සිටම පැවැති මේ ගොඩනැගිලි රැළි ගැන්වුණු තහඩු යොදා ආවරණය කර ඉදිකොට තිබූ නිසා ඒ බිම රැළි තහඩු කොටස ලෙස නම්කොට ඇත. මෙම කොටසේ සිටින්නේ මෙම කඳවුරට පැමිණෙන ආධුනික පිරිසය. එනම් ලංකාවේ කොහේ  හෝ  උසාවි නියෝගයකින් ලංකාවේ කොහේ හෝ බන්ධනාගාරයකින් නිරෝගී බවට සනාථ කරන ලද වෛද්‍ය වාර්තාවද අතැතිව බන්ධනාගාර නිළ රථයකින් කැටුව එන ආධුනිකයින්ය.

මෙම පිරිස රටේ පළාත් නවයම ආවරණය කරමින් මෙහි එති. වැඩිම පිරිසක් හෙවත් මෙතෙක් දෙදහස් තුන්සිය හැට දෙනකු පැමිණ ඇත්තේ බස්නාහිර පළාතෙනි. දෙවැනි වැඩිම පිරිස දකුණු පළාතෙනි. එය ගණනින් පන්සිය අසූ හතකි. තුන්වැනි වැඩිම පිරිස තුන්සිය හැත්තෑ හතක් ලෙස වයඹ පළාතෙනි. සෙසු සියළු පළාත් වලින් සියය ඉක්මවූ සහ සියයට ආසන්න පිරිසක් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත  යොමු කර ඇත.

නව ගොඩනැගිලි පියස හා නව ගොඩනැගිලි

දෙවැනි කොටස නව ගොඩනැගිලි පියසය. එහි නව පන්ති කාමර ඇත. රෝහල් පරිශ්‍රයක් ඉදි වී තිබේ. නව ගොඩනැගිලි පියස වෙත යා හැකි වන්නේ මාස තුනක් ගෙවුණු පසුවය. උපදේශන සහ සෙසු පන්ති පැවැත්වෙන්නේ එහිදීය.

අභ්‍යාස ලාභියාට හිමිවන මූලික අවශ්‍යතා කට්ටලය

තෙවැනි කොටස පාරෙන් එපිට ඇති නව ගොඩනැගිලිය. කාර්යය මණ්ඩල නේවාසිකාගාර ඇත්තේ එතැනය.

මෙබිමට පාතබන මේ ආධුනිකයා පිළිගැනීමේ නිළධාරියා විසින් පළමුව පිළිගෙන ලියාපදංචි කරයි. එම අවස්ථාවේ ඔහු තමෙන්ගේ සෑම විස්තරයක්ම  අදාල නිළධාරියා වෙත ප්‍රකාශ කරයි. අනතුරුව ඔහු සතුව ඒ මොහොතේ ඇති යට ඇඳුමේ පටන් සියල්ල ඉවතලා විනාශ කර දමයි. පුද්ගලයකුට මාසිකව අත්‍යාවශ්‍ය වන දත්බුරුසුවේ, රැවුල බාන තලයේ සිට භාණ්ඩ කට්ටලයක්  අලුතින් ලබා දෙයි. තුවායක් සරමක් කොටකලිසම් දෙකක් දිගකලිසමක් ටීෂර්ට් දෙකක් ෂීට් දෙකක් කොට්ට උර දෙකක්  සෙරෙප්පු කුට්ටමක් සපත්තු කුට්ටමක් සබන් දත්බෙහෙත්  එම භාණ්ඩ කට්ටලයට අයත්ය. කොණ්ඩය කොටට කපා නා පිරිසිදු වී අලුත් ඇදුම් ඇදගන්නා ආධුනිකයා මුලින්ම යොමුකරන්නේ , කෘෂි චිකිත්සාව සඳහාය.

කෘෂි චිකිත්සාව හා ජල චිකිත්සාව

කෘෂි චිකිත්සාව

කන්දකාඩුව කඳවුරේ භූමියෙන් වැඩි කොටසක් වගා කටයුතු සදහා වෙන්කර තිබේ. ඊට පා තබන ආධුනික අභ්‍යාසලාභියා වගාවට සාත්තු කළ යුතුය. අනතුරුව පාත්ති සකසා වගා කල යුතුය. මේ සඳහා ඉතා හොද මග පෙන්වීමක් සිදු කරන්නේ පුහුණුවලත් නිළධාරින් පිරිසක් විසිනි.

ජල චිකිත්සාව

ජලය මිනිසාට ජීවය ලබා දෙන ප්‍රබල සාධකයක් නිසාම ජලයද චිකිත්සාවක් ලෙස යොදා ගනී. අන්තරායකර ඖෂධයක් ශරීර ගත කර ඉන් සිරුරට ලැබුණු අහිතකර තත්ත්වයන් මගහරවා ගැනීම පිණිස, දවසකට තුන් හතර වතාවක් ස්නානය කළ යුතුය. එය ජල චිකිත්සාව ය.

දැනුම, ප්‍රතිකාර හා උපදේශනය

උපදේශන වැඩ මුලුවක්

පළමු මාසය එසේ ගෙවීයද්දී දෙවන මාසය වෙන් කර ඇත්තේ , අන්තරායකර ඖෂධ යනු කුමක්ද ? ඊට නතු වූ විට සිදුවන මානසික සහ ශාරිරික විපර්යාසයන් මොනවාද? ඉන් සිරුරට ලැබෙන අහිතකර තත්ත්වයන් මොනවාද ? පාවිච්චි කරන ලද ප්‍රමාණයන් අනුව දැන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාවලියට සිදුව ඇති බාධා මොනවාද? ආදිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දිමටය.   මෙය අභ්‍යාසලාභින් ගේ හැරවුම් ලක්ෂයය.

තුන්වැනි මාසයේදි    ප්‍රතිකාර සහ උපදේශනය ලබා දීම ආරම්භ කරන්නේය.  සිව්වන මාසයේ සිදුවන්නේ අභ්‍යාසලාභියාට තමන්ගේ ජීවිතයේ වටිනාකම අවබෝධ කර දීමය. තමන් මත යැපෙන , තමන් මත සැනසෙන තම සමීපතමයින් තමන්ගේ වෙන්විමෙන් විඳින වියොව වේදනාව කනස්සල්ල සේම පවුලේ ආර්ථිකයේ බිඳවැටීම මෙහි දී හොඳ හැටි අවබෝධ කර දෙයි.

නායකත්ව හා පෞරුෂ වැඩසටහන්

පස්වැනි සහ හය වැනි මාස වල දී ලබා දෙන්නේ ද නායකත්වය සහ පෞරුෂ වර්ධනය සඳහා අවශ්‍ය උපදේශනය සහ මගපෙන්වීමය.    වන විට ක්‍රීඩා කුසලතා, සංගීත කුසලතා ඇති උදවිය සඳහා විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත.

අද වන විට කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරෙන් පුහුණුව ලැබු පිරිස පනදහස් තුන්සිය හතලිහකි. හයසිය හතර දෙනකු මුදාහැරීමට සිදුව තිබුණු අතර  අදවන විට සේනපුර කඳවුරට යොමුකල පිරිස තුන්දහස් අටසිය විසි තුනකි. අටසිය හැට දෙදෙනකු අදටත් කන්දකාඩුවේ පුහුණුව ලබමින් සිටිති.

 කර්මාන්ත

කඳවුරේ බේකරිය

මැහුම් හලක්, කොණ්ඩා සැකසුම් ස්ථානයක්, බේකරියක් භාවනා මධ්‍යස්ථානයක්, සංගීත කාමරයක් යෝග ආශ්‍රමයක් ගෘහස්ථ සහ අභ්‍යන්තර ක්‍රීඩාගාර ඇතුළු සියලු පහසුකම් සහිත මෙහි කටයුතු සඳහා දායක වීමට සෑම අභ්‍යාස ලාභියකුට පහසුකම් ඉඩකඩ සලසා දී ඇත.

ආහාර වේලක්

බේකරියේ පාන් බනිස් හදන්නේ සියලු දෙනා සඳහාමය. එයද සිදුවන්නේ අභ්‍යාසලාභින් අතිනි. මුළු තැන්ගෙයි කෑම පිසින්නේද අභ්‍යාසලාභින් විසිනි. ඉතා පිරිසිදුව ප්‍රනීතව සකසන කෑම ඇති තරම් බඩකට පිරෙන්නට දෙන්නට කඳවුරේ අවසර ඇත. වයස අවුරුදු හැට ඉක්මවූ අභ්‍යාසලාභින් සඳහා කෑම කාමරයේ විශේෂ මේසයක් වෙයි. ජ්‍යේෂ්ඨ පුරවැසි මේසය ලෙස එය නම් කර ඇත්තේ අභ්‍යාසලාභි පිරිස විසින්මය.

කාය වර්ධන මධ්‍යස්ථානය

සියලුම අභ්‍යාසලාභින් කායවර්ධන ශරිර සුවතාවද දිනපතා ලැබිය යුතුය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර බලමින් ශරිර සුවතාවයන්ට උචිත ව්‍යායාම පිළිබඳ මගපෙන්වන්නා ලෙස කටයුතු කරන්නේ ශාරිරික අභ්‍යාස උපදේශක ලාන්ස්කෝප්‍රල් බණ්ඩාරය .  මීට අමතරව  භාවනා වැඩසටහන් , යෝග වැඩසටහන් මාසිකව පැවැත්වේ

කන්ද කාඩුවෙන් සේනපුරට

අභ්‍යාස ලාභියා   සෙසු මාස හය සඳහා වැලිකන්ද සේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කරයි.  කන්දකාඩුවෙන් නිළ වශයෙන් රැගෙන එන අභ්‍යාසලාභීන් මෙහිදි ද නැවත ලියාපදිංචි කරති. මාසිකව අවශ්‍ය සියළු අත්‍යාවශ්‍ය බඩුමල්ලද නේවාසික පහසුකම්ද    ලබා දී කටයුතු ආරම්භ කරයි.

වැලිකන්ද සේනපුර තෘතියික හා වෘත්තිය සාක්ෂරතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් අසේල   ඇතුළු නිළධාරි මඩුල්ල ඒ උදෙසා කරන කැපවීම ද ඔවුන් සතුව ඇති කාර්යය භාරයද අතිමහත්ය.  එහිදී පැමිණෙන  අභ්‍යාසලාභින්ට තෝරා ගන්නා ලද වෘත්තීය පාඨමාලා පුහුණු කිරීමකට ලක් කරයි.  සේනපුර කඳවුරෙහි මේතාක් පුනරුත්ථාපනය ලැබූ පිරිස තුන්දහස් අටසිය විසිතුනකි. ඉන් තුන්දහස් තිස් හය දෙනකු සමාජගත කොට ඇත. මේවන විට හත්සිය පස්දෙනකු වෘත්තීය පුහුණුව ලබති.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය එක්ව මෙම අභ්‍යාසලාභීන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙති.

වඩුකාර්මික, ජලනල කාර්මික, ගෘහස්ථ විදුලි කාර්මික , පෙදරේරු කාර්මික , පෑස්සුම් ශිල්පී පාඨමාලාව ,  පරිගණක මෘදුකාංග,  පරිගණක දෘඩාංග,  තත්ත්ව පාලන ඇගළුම් , භෝජනාගාර සහායක , බේකරි ආශ්‍රිත නිෂ්පාදන , සූපවේදි යන පාඨමාලා සියල්ල මාස හයක් පුරා ක්‍රියාත්මක කරන අතර උපදේශන ක්‍රියාවලි යද ක්‍රියාත්මක කරමින් මානසික ශාරිරික සහ වෘත්තිය යන තෘතියික පුහුණුව ලබා දෙන්නට සේනපුර කඳවුරු නිළධාරිහු කටයුතු කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට මග පෙන්වීම පිණිස,  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ,  නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ , පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යංශයේ අධ්‍යක්ෂ පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ( මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් හා නොමග ගිය සටන් කරුවන් ) බ්‍රිගේඩියර් සුදන්ත තිලකරත්න යන මහත්වරුන් ඇප කැපව සිටිති.

 

 

Exit mobile version