නොනවත්වා ඇදහැලෙන වර්ෂාවත් සමඟ නුදුරු අනාගතයේ දී දැඩි ඩෙංගු වසංගතයක් ඇතිවීමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවයි.
නොවැම්බර් මාසයේ දින 10ක් ඇතුළත රටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් 1,361ක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
පසුගිය වසරේ නොවැම්බර් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 770 ක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත්, මෙම නොවැම්බර් මාසයේ දින 10ක් ඇතුළත එම රෝගීන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය මෙම වසරේ රෝගයේ පැතිරීමේ ස්වරූපය පෙන්වන බව සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සෙනෙවිරත්න මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ගංවතුර තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන සඳහා වැඩි ඉඩක් නිර්මාණය වන බවය.
“ගංවතුර බැස යාමට පටන් ගත් විට ඩෙංගු අවදානම වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුයි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය සෙනෙවිරත්න පවසන පරිදි කොළඹ, මඩකලපුව, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ඇය පවසන්නේ ඩෙංගු මර්දනය කිරීමේ ප්‍රයත්නයට ජනතා සහයෝගය සතුටුදායක නොවන බවය.
“COVID-19 බිය නිසා ඖෂධ ලබා ගැනීම ප්‍රමාද වීම විශාල ප්‍රශ්නයක්. දින දෙකක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වෛද්‍ය සෙනෙවිරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව, තම ප්‍රදේශය අවට ඇති සියලුම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කාලය වෙන් කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.







