තමන්ට රාජ්‍ය සේවයත් එපා වුණු හැටි ගැන අනුෂ පැල්පිට ‍ෆේස් බුක් සටහනක් තබයි…

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ තමා සහ කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ඇතැම් ප්‍රතිපත්තිමය කාරණාවලදී බරපතල වෙනස් මත දැරීම හේතුවෙන් තව දුරටත් සුමට ලෙස රාජකාරි කිරීමට නොහැකි තත්වයක් උදා වූ බවත් 2005 වසරේ සිට හොඳින් දන්නා හඳුනන අමාත්‍යවරයාගේ හිතවත්කම තවදුරටත් රැකෙන අයුරින් අමාත්‍යාංශයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ලිඛිතව දන්වා තබමින් අනුෂ පැල්පිට අද නිල වශයෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.

මේ වනවිට අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වී තිබේ. 

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබන අනුෂ පැල්පිට පවසන්නේ තමන්ට ජනාධිපතිවරයා වෙනත් අමාත්‍යාංශයක ලේකම් තනතුරක් පිරිනැමුවද එයද ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවය. තම වෘත්තීය ජීවිතයේ තීන්දු ගැනීමට  සිදු වූ විවිධ අවස්තා   සිහි කැඳවන ආකාරයේ සටහනක් තබන අනුෂ පැල්පිට ලියා තබන්නේ පසුගිය වසර හයක කාලය තුළ තමන් ලැබු අමිහිරි අත්දැකීම් ද රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමේ තීරණයට බෙහෙවින්ම බලපෑ බවය.


ඔහුගේ සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය.

වසර 34 ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගතිමි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස අද දින වැඩ භාර ගතිමි.
1987 ඔක්තෝම්බර් පළවෙනි දින විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනෙමි. 1990 විවෘත තරග විභාගය සමත්ව, ශ්රී ලංකා ගණකාධිකාරී සේවයට සහ 1993 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරී වරයෙකු ලෙස සේවය කළෙමි. 1995 අප්‍රේල් මස විවෘත තරග විභාගයක් සමත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වුණෙමි.

2013 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කළෙමි.
මාගේ පරිපාලන සේවා කාලය තුළ ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරී, සංවර්ධන ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ හා වැඩබලන සාමාන්‍යාධිකාරී , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජ්ය අධ්යක්ෂ, අධ්යක්ෂ සහ පළමු අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළෙමි.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙසත් ලංකා පුවත් ආයතනයෙ සභාපති තනතුරත් සැලසිනේ ආයතනයේ නිසි බලධාරී තනතුරක් හෙබවූ වෙමි. 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අධ්යක්ෂ ජනරාල් ධුරයෙ කටයුතු කළෙමි.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නෙළුම් කුළුණ ආරම්භ කිරීමටත්, සූරියවැව IT park, සහ කොකාවිල් කුළුණ නිම කිරීමටත් දායකවීමට මට හැකි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වාණිජවේදි උපාධිධාරියෙකු වන මම
2003/ 2004 වර්ෂවල ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා විශ්වවිද්යාලයෙන් වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගත්තෙමි. ඔස්ට්රේලියාවේ ජාතික ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගතිමි.
2015 වර්ෂයේ ජනවාරි 19 දින සිට රාජ්ය පරිපාලන සංචිතයට මා මාරු කරන ලදී.

2016 ජූනි මස පළවන දින සිට මගේ රාජකාරී වැඩ තහනම් කරන ලදී. ජනාධිපතිවරයාගේ නීත්යානුකූල නියෝගයක් ක්‍රිියාත්මක කිරීමේ වරදට මටත් ලලිත් වීරතුංග මහතාටත් එරෙහිව FCID ආයතනය විසින් පූර්ණ දේශපාලන මුහුණුවරකින් මහාධිකරණය නඩු පවරන ලදී.  2017 සැප්තැම්බර් හත්වන දින මමත් ලලිත් වීරතුංග මහතාත් වසර හයක සිරදඬුවමකට යටත් කරන ලදි.  2019 නොවැම්බර් මස දහනම වන දින අභියාචනාධිකරණය විසින් සියලුම චෝදනාවලින් අප දෙදෙනා නිදොස් කර නිදහස් කරන ලදී.

2020 දෙසැම්බර් 19 වැනි දින ජනාධිපතිතුමා විසින් කර්මාන්ත අමාත්යාංශය ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
අමාත්යාංශය යටතේ තිබූ සියලූ රාජ්ය ආයතන සම්බන්ධීකරණය කරමින්සි මාසික ප්රගති රැස්වීම් පවත්වමින් මගේ පූර්ණ දායකත්වය අමාත්යාංශයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන ලදී.

mineral sand සමාගමේ වටිනාකම් එකතු කිරීම සඳහා සියලු කටයුතු අවසන් වී ඇති අතර ඒ සඳහා expression of interest කැඳවීම ලබන සතියේ නියමිතව තිබුණි. එලිෆන්ට්පාස් ලේවායේ ටිනාකම එකතු කිරීමේ ක්රියාවලිය සඳහා request for proposal කටයුතු ආරම්භ වීමට නියමිතය. තවත් බොහෝ දේ අප කණ්ඩායමක් ලෙස ඉටු කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අමාත්යංශයේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී ගරු විෂයභාර අමාත්යවරයා සහ ලේකම්වරයා වශයෙන් මාත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් බරපතළ වෙනස් මත දැරීම හේතුවෙන් අමාත්යාංශය රාජකාරි කටයුතු සුමටව ඉටුකිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මට නිරීක්ෂණය විය.

විෂයභාර අමාත්යවරයා 2005 වර්ෂයේ සිට මා පෞද්ගලිකව අඳුනන හිතවතකුවූ බැවින් තවදුරටත් එම සම්බන්ධය රැකගනිමින් අමාත්යාංශයෙන් ඉවත් වීමට තීරණය කළෙමි. අපේ පවුලේ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ රාජ්ය සේවයෙන් මා විශ්රාම ගත යුතු බවයි. වසර හයක කාලයක් තිස්සේ ඔවුන්ගේ දෑස් වල තිබූ දුක මම හොඳින් හඳුනමි. තවදුරටත් ඔවුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට මට නොහැකිය.

මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හමු වී කරුණු දැක්වූ විට එතුමා ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් ධූරය ඇතුළු තනතුරු කීපයක් මට ලබා දිය හැකි බව ප්‍රකාශ කරන ලදී. එහෙත් මම ගෞරවයෙන් ඉල්ලා සිටියේ මට රාජ්‍ය සේවයෙන් විශ්රාම යාමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඒ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාට ස්තුතිය එමෙන්ම සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරය ලබාදීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මාගේ ගෞරවය පුද කරමි.

පසුගිය වසර හයක් තිස්සේ අප ලැබූ අමිහිරි අත්දැකීම් මෙම තීරණය ගැනීමට හුදෙක්ම පාදක වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. පසුගිය කාලය පුරා මා වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාට මගේ ආදරණීය කෘතඥතාවය පිරිනැමීමට කැමැත්තෙමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඕනෑම අවස්ථාවකදී මව්බිමේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්ය ඕනෑම අභියෝගයක් ඉදිරියේදී වුවද භාර ගැනීමට මම නොපැකිලෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

Exit mobile version