චම්පික පරදවන්න කෝටි 5ක වියදමක් !

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමා පරාජය කිරීම වෙනුවෙන් මාෆියා කල්ලි නායකයින් රුපියල් කෝටි 5ක පමණ වියදමක් දැරීමට ඉදිරිපත් ඉදිරිපත්වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමා පරාජය කළ හැක්කේ ඔහු විසින් පසුගිය ආණ්ඩු සමයේ දී වගකීම් දැරූ අමාත්‍යාංශ යටතේ කරන ලද සංවර්ධන ක්‍රියාදාමයට වඩා වැඩි වැඩ කොටසක් සිදු කිරීමෙන් පමණක් බවයි.

එසේ නොමැතිව දූෂණ චෝදනා  හෝ මර්ධන ක්‍රියාමාර්ගවලින් හෝ දෑත්වලට මාංචු දැමීමෙන් තමා කිසිසේත් පරාජය කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බව හෙතෙම දේශපාලන වේදිකාව මත අදහස් දක්වමින් පැවසීය.


“චම්පික පරාජය කරන්න දස ලක්ෂ 50 ක් වැය කරන්න අද මාෆියා කල්ලි නායකයෝ ඉදිරියට ඇවිත්. චම්පික රණවකව හිරගෙදරට යවන්නට අද පොලිස් නිලධාරීන්ට වෙනත් අයට බලපෑම් කරන දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපව දේශපාලන වශයෙන් අනාථ කිරීම සඳහා ජඩ මාධ්‍යවල මඩ ප්‍රචාර යවා දැවැන්ත ප්‍රචාරණ යුගයකට පිවිස සිටිනවා. අපේ දූ දරුවන් අපේ පවුල්වල සාමාජිකයන් අපේ හිතවතුන් වැනි සංවේදී පිරිස් ඉලක්ක කර දුෂ්ට ක්‍රියාවක් මුදාහැරලා තියෙනවා. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් කියන්න කැමතියි, අපේ අත්වල දම්වැල් දාලා ඔය කරන ජඩ මාධ්‍ය ප්‍රහාරවලින්වත්, ඔය කරන කොමිෂන්වලින්වත්, ඔය කරන උසාවි ක්‍රියාදාමවලින්වත් අපව නතර කරන්න බෑ කියන එක.

ප්‍රභාකරන් ඉදිරියේ දන නොගහපු අපි මීට වඩා ලොකු බලවත් පිරිස ඉදිරියේ් දන නොගහපු අපි, මාවිල් ආරු සිද්ධියේදී අරලිය ගහ මන්දිරයේ වෙවුල වෙවුලා සිටින විට අපි සටන් කර ජය ගමු කියලා කියපු අපි, ඉදිරියටත් ඒ මාවතේ ඉදිරියට යන බව කියන්න කැමතියි.

අපව පරාජය කරන්නේ කොහොමද? අපව පරාජය කරන්න නම් අපට වඩා හොඳින් අපේ අමාත්‍යංශය කරලා පෙන්නන්න. අපව පරාජය කරන්න නම් අපි සැලසුම් කර තිබූ සැහැල්ලූ දුම්රිය මාර්ගය 2024 ඉවර කරන්න තිබ්බා. එක 2023 කරල පෙන්නන්න. අපිට චම්පිකට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා කරල පෙන්නන්න කියලා මම ගෝඨාභය මැතිතුමාට කියන්න කැමතියි .

ඒ වගේම අප පරාජය කරන්න නම්, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන අධිකාරිය මේ පසුගිය අවුරුදු හතර හමාර අපි කළාට වඩා හොඳට ආදායම් උපදවන අපට වඩා ලාභ පෙන්නලා, සංවර්ධන පෙන්නලා ඉන්න. ඒවගෙන් විතරයි අපව පරාජය කරන්න පුළුවන්. ඒ විදිහට අපට වඩා හොඳින් රට පාලනය කරලා පෙන්නන්න. රට සංවර්ධනය කර රට ඉදිරියට ගෙනිහින් අපට වඩා කාර්යක්ෂමව, අවංකව, දූෂණයෙන් තොරව ඒ කටයුතු කරලා පෙන්නන්න. එතකොට අපව පරාජය කරන්න පුළුවන්. එහෙම නැතුව දූෂිත, පවුල්වාදී, මර්දන ක්‍රියාමාර්ග කරලා තරුණ අපව එදා පරාජය කරන්න බැරි වුණා වගේ අදත් වැඩිහිටියන් ලෙසත් පරාජය කරන්න බැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ප්‍රායෝගිකවාදය අදහන්නෙක්. මා තුළ කිසිම මාක්ස්වාදය ලිබරල්වාදය වගේ මොනම ආකාරයේ mism එකක්වත් මා තුළ නැහැ. මේ රටට ලෝකයට වැඩ කරන්න පුළුවන් මොන ප්‍රායෝගිකත්වයෙන් ද? ඒක තමයි මගේ දැක්ම. මගේ සංස්කෘතිය, ධර්මය ගැන මට ආඩම්බරයක් තියෙනවා. හැබැයි වෙන කිසිම ධර්මයකට කිසිදු සංස්කෘතියකට මම ගරහන්නේ නැහැ. මා මෙතනට ඇවිත් තියෙන්නේ මගේ පවුලේ ශක්තියකින් හෝ ධන බලයෙන් නෙවෙයි. මේ කුරිරු දුෂ්ට බලවේග අපිව විනාශ කරන්න ක්‍රියා කරද්දී ඔබ අපේ ශක්තිය වෙන්න.”

Exit mobile version