ගිය මහ කන්නයේ අස්වැන්න මාස 10කට ඇති ! ඒත් තොග මහ පරිමාණ මෝල් හිමියන් ළඟ !

පසුගිය මහ කන්නයේදී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වී අස්වැන්නෙන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මාස 10කට මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වුවද මේ වනවිට එම සහල් තොගයෙන් වැඩි ප්‍රමාණවයක් රඳවාගෙන සිටින මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු ඒ මඟින් මෙරට සහල් මිල පාලනය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් නිෂ්පාදනය පිළිබඳව බෝග පුරෝකථන වාර්තාවලට අනුව මහ කන්නයේ හෙක්ටයාර් 802494ක් වගා කර ඇති අතර එය ඉලක්ක ගත ප්‍රමාණයෙන් සියයට 94කි. මෙම බිම් ප්‍රමාණයෙන් දළ වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3.12ක අස්වැන්නක් ලැබී ඇති අතර එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.97ක් එනම් ටොන් ලක්ෂ 20කට ආසන්න සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. මෙම අස්වැන්න සඳහා රජයෙන් රුපියල් 52ක සහතික මිලක් නියම කළ අතර මෙවර රජයද තරගකාරී ලෙස වී මිලදී ගැනීමට පෙලඹුණු නිසා පෞද්ගලික මෝල් හිමියන් රුපියල් එම සහතික මිලෙන් ඉහළ මිලකට වී මි දී ගැනීමට කටයුතු කළේය.

සාමාන්‍යයෙන් මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 194,500ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර මේ අනුව පසුගිය මාර්තු අප්‍රියෙල් මාසයේ ලබා ගත් මහ කන්නයේ අස්වැන්න සාමාන්‍යයෙන් ලබන පෙබරවාරි මාසය දක්වා ප්‍රමාණවත් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර යළ කන්නයේද අස්වැන්න ද කැපෙන අතර එය තවත් මාස පහකට පමණ ප්‍රමාණවත් වේ. මේ අනුව සැලකීමේදී මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සහල් තොග රැස් කර ගනිමින් සිටින අතර ඔවුන් මේ තත්ත්වය තුළ සහල් ඒකාධිකාරය රකිමින් අධික පාරිභෝගික සූරාකෑමකට ලක් කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය මහ කන්නයේ අස්වැන්න වැඩි මිලකට මිලදී ගත් බැවින් ඉදිරියේදී ඔවුන් තවදුරටත් වැඩි මිලකට සහල් වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව සදහන් කළ මෙම ආරංචි මාර්ග මෙම තත්ත්වය පාලනයට රජය කඩිනම් වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු  බව පෙන්වා දෙයි.

Exit mobile version