ලලිත් චාමින්ද – ජයකාන්ත ලියනගේ –
ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරි යෑමෙන් පසු සමාජයට නිරාවරණය නොවී මුළුමනින්ම පාලනය කළ බව කී මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්වයට සමාන රෝග ලක්ෂණ වැළදිමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය මාස අටක් වියැති බිළිඳියකගේ මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් මරණය සම්බන්ධ විවෘත තින්දුවක් දී බිළිඳියගේ රුධිර සාම්පල් හා පටක කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකොට දේහය නිදහස් කළේය.
උණ, ස්වසන අපහසුතා, බඩ බුරුල්කරීම, සිරුරේ බිබිලි දැමීම යන රෝග ලක්ෂණ හේතුවෙන් මෙම බිළිඳිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ ( 26 ) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකරණු ලැබිය. මියගොස් ඇත්තේ ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ පදිංචි බිළිඳියකි.
මෙම බිළඳියගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යු.ජි.ඩි ජයරත්නගෙන් අප කළ විමසුමකදි ඔහු මෙසේ පැහැදිලි කළේය.
“මෙම දරුවාට උණ, බඩඑලිය යෑම මෙන්ම සිරුරේ හැමතැනම වගේ බිබිලි දැමිම නිසා රෝහලට ඇතුළත්කොට තිබුණා. මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගි තත්වයට සමාන රෝග ලක්ෂණ මේ දරුවාටත් වැළඳි තිබු නිසා ඇතිවු සැකය මත තමයි දරුවාගේ රුධිරය හා පටක කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට කටයුතු කළේ. නමුත් පරික්ෂණ ප්‍රථිපල ලැබෙන තෙක් මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ. බිළිඳා මියගියේ මෙම රෝගි තත්වයෙන්ද නැතිනම් වෙනත් රෝගි තත්වයකින් ද කියා පරික්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු තමයි කියන්න පුළුවන් වන්නේ…” යැයිද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක එස්.පි.යු.එම් රංගගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.
“මෙම දරුවා රෝහලට ඇතුලත් කරලා සුළු වෙලාවකින් මිය ගියා. මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ. මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගි තත්වය හේතුවෙන් මෙම දරුවා මියගියාද කියලා සැක කරන්න පුළුවන්. නමුත් සැකයක් විතරයි තියෙන්නේ. “
“දරුවාට වැළිදි තිබු රෝග ලක්ෂණ අනුව මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණවලට සමාන ගතියක් තියෙනවා. නමුත් පරික්ෂණ ප්‍රතිඵල එනතෙක් මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ. මේ දරුවාගේ පවුලේ අය මෙම රෝගිය වැළිද තිබු රැඳවියන් සමග කිසිදු සම්බන්දතාවයක් පවත්වා නැති බවට තහවුරු වි තියෙනවා.” යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.