ගාල්තැන්නේ දී මිනිස්සුන්ට ඇණ ගැසූ වධක කපුවා කතරගම ගිහින්?

Dushmantha-Fanendo

වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙඅත් වලට පරාල ඇණ ගසා අමානුෂික වධයට ලක් කළ කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවා වන වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැත්තා මේ වනවිට කතරගම ප්‍රදේශයේ සැඟ වී සිටින බවට විමර්ශන ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම පුද්ගලයා සොයා මේ වනවිට විමර්ශන කණ්ඩායම් පහක් ක්‍රියාත්මක වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
වධක කපුවා නුවර ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරුන්ගේ හා ඔවුන් මාර්ගයෙන් රටේ ඉහළම දේශපාලන බලවතුන්ගේ හිතවත් කම් ගොඩනගා ගත්තෙක් බව කියැවේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන කපුවා සහ වධයට ලක්වූ දෙදෙනාත්, ඔවුන් වදයට ලක්කළ බව කියන කපුවාගේ ඥාති සොයුරන් 5 දෙනාත් මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.


පුද්ගලයන් දෙදෙනා අමානුෂික වදයට ලක් කළ කණ්ඩායම මේ වදක සිද්ධියට පෙර මීවතුර ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමකට පහර දී තුවාල කිරීම හා පුද්ගලයෙක් කපා දැමීම සිදු කර ඇති බවත් මේ සිදුවීම් නිසා රෝහල්ගත වූ පුද්ගලයන් සම්බන්ධව පොලිසිය හෝ රෝහල නීත්‍යානුකූල පටිපාටියට කටයුතු කර නැති බවත් හෙළි වී තිබේ.

දැනට හෙළිදරවු වෙමින් ඇති ආකාරයට අත්අඩංගුවට පත් පුද්ගලයන් හා වධයට ලක්වූ පුද්ගලයන් පොලිසියට ලබා දෙන කටඋත්තර හා පොලිස් විමර්ශනවලදී හෙළිවන තොරතුරු අතර පරස්පරයක් ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් දෙදෙනා එම වදක කණ්ඩායමේ සිටි අවශේෂ පුද්ගලයන් දෙදෙනෙකු බවත් ප්‍රධාන වදකයන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් මෙතෙක් අසමත් වී ඇති බවත් කියැවේ.

මේ පිළිබඳව කළ විමසීමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේ තවම මෙම සැකකරුවන් පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් නොමැති බවත් සැක කරුවන් සොයා විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායම් 5ක් මෙහෙයුම් අරඹා ඇති බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අත්අඩංගුවට ගත් දිනයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මාධ්‍ය සාකච්ඡාවක් අතර කියා සිටියේ තමන් මේ කපුවා සමග කිසිම සම්බන්ධයක් නොමැති බවය.

Exit mobile version