මනම්පිටිය නිමල් ජයරත්න-
පොළොන්නරුව අරලගංවිල 503 කලාපයේ මාදුරුඔය ප්‍රදේශයේ ඊයේ (03) සවස අලි රංචුවකින් අතරමංව මීගව රංචුවක් සමග සිටි අවුරුද්දක් පමණ වයසති අලි පැටියෙකු පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී විසින් මුදවාගෙන අලි රංචුවට නිදහස් කිරීමට කටයුතු කර ඇත.
මෙම අලි පැටියා රෑනෙන් තනිව පන්සිය තුන කලාපයේ මී ගවයින් රංචුවක් සමඟ සැරිසරමින් සිටියදී ඒ බව දුටු ගොවි මහතකු පිඹුරත්තෑව වනජීවී නිලධාරීන් දැනුවත් කොට ඇත.
පසුව වහා ක්‍රියාත්මක වූ පිඹුරත්තෑව වනජීවි නිලධාරීන් ප්‍රදේශයට ගොස් මී රංචුවෙන් නිදහස් කරගත් අලි පැටියා පැය තුනක පමණ මෙහෙයුමකින් පසු මාදුරුඔය රක්ෂිතයේ සිටි අලි රංචුව වෙත නිදහස් කිරීමට කටයුතු කර තිබිණි.
පිඹුරත්තෑව අඩවි ආරක්ෂක, ප්‍රවීෂ් පෙරේරා, සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ.වික්‍රමරත්න ඇතුළු වනජීවී නිලධාරින් කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.







