කොවිඩ් අතරේ හම්බන්තොට වරාය ඉහළම මෙහෙයුම් වාර්තාවක….

රෝ රෝ යාත්‍රා ද්විත්වයක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇති අයුරු.

සූරියවැව නුවන් ජයසේකර –

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ පැවසීය.

ඒ අනුව මෙම වසරේ මුල් මාස 04 තුළදී පමණක් හම්බන්තොට වරාය වාහන 193,690 ක් ප්‍රතිනැව්ගත කළ බවත්, පසුගිය වසරේ එම කාලය තුළ වරායට පැමිණි වාහන ප්‍රමාණය 118,872 ක් බවත් පැවසීය. පසුගිය මාසයේදී පමණක් වාහන 62,736 ක් ප්‍රතිනැව්ගත කළ අතර මේ දක්වා මසක් තුළ වරාය විසින් හසුරුවා ඇති ඉහළම වැඩිම රොරෝ ප්‍රමාණය මෙය බවත් පැවසීය.

හම්බන්තොට වරාය සතු රෝරෝ අංගනය

ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක්, සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායන්වලින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන පැමිණෙන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරායන් වෙත මෙම වාහන ප්‍රතිනැව්ගත කිරිම වැඩි වශයෙන් සිදුව තිබේ. NYK, MOL, Hyundai Glovis, Kline, ZIM, Hoegh යන නාවික සමාගම්හි නෞකාවන් ප්‍රරතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණ තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ගෝලීය අපනයන වෙළඳපොළ තවමත් ස්ථාවර නොමැති තත්වයකදී ප්‍රධාන නාවික සමාගම්, තම මෙහෙයුම් කටයුතු සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම අපි ලැබූ විශාල ජයග්‍රහණක් බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
සී.එම්.පොර්ට් සමාගම සතු ගෝලීය ප්‍රමිතීන්ට අනුව ආරක්ෂාව හා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමත් මේ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණක් බවත් ඔහු තවදුරටත් පැවසීය.
රජය සහ වරාය බලධාරීන් විසින් නියම කර ඇති දැඩි COVID-19 සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි යටතේ වරායේ මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවත් ඒ මහතා පැවසීය.

Exit mobile version