කොරෝනා වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

කොවිඩ් -19 රෝගීන්ට සත්කාර සේවා සිදුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටලු පිළිබදව මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරන ලදි.


මෙම ගැටලු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

අද පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මේ අදහස් පළකළේය. “මේ වන විට කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා රෝහල් 10 ක් තෝරාගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක්  වෛරසය ආසාදිතයෙකු බවට නිශ්චිතව තහවුරු වූ පසු මෙම රෝහල් 10 තුළින් එකකට ප්‍රතිකාර සේවාවන් සදහා ඇතුළත් කරනවා. එම රෝගියෙකුට දින 14 හෝ දින 28 යනතුරු රෝහලේ රැදී සිටීමට සිදු වෙනවා. එම කාලය තුල වෙනත් රෝගීන්ට මෙන් තමන්ගේ නිවසින් හෝ පිටතින් ගෙනෙන ආහාර ඇතුලු කිසිම දෙයක් ඔවුන්ට ලබාදීම සුදුසු නැහැ. එම නිසා එම කටයුත්ත සිදු වෙන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම අපේ වගකීමක්. පසුගිය කාලය තුල මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් වලට නොයෙක් ප්‍රදානයන් ලැබුණා.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයන රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිස් සමග රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තිබෙන ප්‍රශ්න මොනවාද කියලා අද දින (09) සාකච්ඡා කළා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමාට මා උදෙස් ලබාදුන්නා කොව්ඩි 19 ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන ලෙස. තම ජිවිත අවධානම ද නොතකා රෝගීන් සමීපයට ගොස් ප්‍රතිකාර සිදුකළ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ලේකම්තුමාට උපදෙස් දුන්නා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා කොව්ඩි -19 රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමග දින දෙක තුනක් විනෝද වෙලා එන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සදහා ද අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්තුමාට මා උපදෙස් ලබාදුන්නා.” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේය.

 

Exit mobile version