කොංග්‍රසයේ නායකත්ව අර්බුදය උග්‍රවේ – මහලේකම්කමට ජීවන් තොණ්ඩමන් 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා දැඩි සටනක් ගෙනගිය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාට එම පක්ෂයේ මහලේකම් තනතුර ලබාදීමට එහි දේශපාලන මණ්ඩලය අද තීරණය කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ තනතුරු අර්බුදය විසඳා ගැනීම සඳහා හැටන් කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයට අද රැස් වූ දේශපාලන මණ්ඩල සභිකයින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ.

මහලේකම් ධුරය මීට ඉහත දී හොබවන ලද්දේ අනූෂා ශිවරාජ් මහත්මිය වන අතර, ඇය අද උදේ ඉල්ලා අස්වී ජීවන් තොණ්ඩමන්ට එම තනතුර ලබා දීමෙන් පසු ඇයට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධුරයකට පත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබ ඇත.


ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු පුරප්පාඩු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පුද්ගලයෙක් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පක්ෂය අභ්‍යන්තර හටගෙන තිබූ අතර මේ නිසාම ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මීට සති දෙකකට පමණ ඉහත දී පත් කරන ලදී.

ඒ පක්ෂ නායකත්වය සඳහා මේ වන විට සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රේෂ්ඨයකු වන මුත්තු සිවලිංගම් යන අයගේ නම් කමිටුව වෙත යෝජනා වී තිබේ.

මේ තත්ත්වය මත ලංකා කම්කරු කොංග්‍රසයේ තවත් ශ්‍රේෂ්ඨයකු වන රමේෂ් නැමැත්තා පත් කරන ලෙස අද පැවති දේශපාලන මණ්ඩලයට යෝජනා වී නම ප්‍රතික්ෂේප කිරීමත් සමග නායකත්ව අර්බුදය තවත් උත්සන්න වී ඇතැයි එම කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරුමුගම් තොණ්ඩමන් මහතා මියයෑමත් සමග ඔහු වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂක ධුරයට ජීවන තොණ්ඩමන් පත් කරන ලෙසත් ඔහු කොංග්‍රස් නායකත්වයට පත් කරන ලෙසත් වත්මන් රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සෙසු කොංග්‍රසයේ නායකයින්ට දැඩි බලපෑම් එල්ල වූ බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කොංග්‍රස් නායකත්වයට පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා පත් කරන ලෙස කොළඹ පිහිටි රාජතාන්ත්‍රික කාර්යාලයකින් ද දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත් මේ සියලූ බලපෑම් හේතුවෙන් කොංග්‍රසයේ නායකත්වය පත්කර ගැනීම තවත් ප්‍රමාද වන බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version