කීරි සම්බාවලින් පාරිභෝගිකයන් තම්බන මෝල්ලු මෙල්ල වෙයි ද? 

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තම තොග සහ සිල්ලර සැපයුම්කරුවන්ට නාඩු සහල් සහ සම්බා මිලට ගන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ හා සමාන ව කීරි සම්බා මිලදී ගත යුතු බවට පනවා ඇති කොන්දේසිය ඉවත් කර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. පසුගියදා පොලොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනවල පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක  ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් හමුදා ආරක්ෂාව ද සහිතව නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර එහිදී මෙම මොල් හිමියන් පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබේ. 

මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ලෙස සැලකෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන, හිටපු නියෝජ්‍ය අමාතය සිරිපාල ගම්ලත්ට අයත් නිපුන සහ  රත්න, ඇතුළු සහල් නිෂ්පාදකයන් වෙත මෙම කණ්ඩායම ගිය අතර එහි දී ඇතැම් සහල් නිෂ්පාදකයන් සමඟ උණුසුම් කතා බහක් ද ඇති විය. 

සාමාන්‍යයෙන්  බාහිරින් යන ලොරියක රියදුරකුටවත් මෙම ප්‍රධාන සහල් මොල්වලට ඇතුළු වීමට අවසර හිමි වන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ අනපේක්ෂිත ලෙස හමුදා නිලධාරීන්ද සමඟ මෙම සහල් මෝල්වලට ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර ලැබී ඇත.


මෙම සහල් හිමියන් මෙරට නිෂ්පාදනය වන කීරි සම්බා වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නා අතර එය සාමාන්‍යයෙන් මෙරට වෙඳෙපොලේ සාපේක්ෂව වැඩි ලාබ තීරුවක් සහිත ව වැඩි මිලකට අලෙවි කළ හැකිය. රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් පසුව සහල් හිඟයක් පවතින බව පෙන්වා දීමට උත්සාහ කරන අතර මෙම මෝල් හිමියන් පවසන්නේ මෙම පාලන මිලට සහල් නිකුත් කිරීම පාඩුවක් බවය. ඔවුන් වී කිලෝවක් රුපියල් 50ත් 55ත් අතර මිලකට  ගෙන ගොවිබිම්වල සිට ප්‍රවාහනය කොට සහල් බවට පත් කොට අලෙවි කිරීමේ දී විශාල වියදමක් යන අතර මෙම තත්ත්ව යටතේ නාඩු සහ සම්බා සහල් පාලන මිලට විකිණීමෙන් පාඩු වන බව පෙන්වා දුන්හ. එසේ වුවද කීරි සම්බා සහල් සාපේක්ෂව වැඩි ලාබ තීරුවක් මත විකිණීමට හැකි වන අතර රටේ කීරි සම්බා සහල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේද මෙම මහා පරිමාණ මෝල් හිමියන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද රටේ සමස්ත සහල් පරිභෝජනයෙන් සියයට 5ක් පමණ වන කීරි සම්බා සහල් වැඩිපුර මිලදී ගැනුණේ මෙරට සංචාරක හෝටල් සහ ආපන ශාලාවලටය. පසුගිය කාලයේ දී මෙම ඉල්ලුම ද සීමා වූ අතර ඔවුන් දැන් ක්‍රමෝපායිකව නාඩු සහ සම්බා සහල් පිටතට යැවෙන ප්‍රමාණය පාලනය කිරීම සහ වැඩි ලාබ තීරුවක් සහිත කීරි සම්බා අලෙවි කිරීම සඳහා මහා පරිමාණ සහල් හිමියන් පොදු එකඟතාවක් සහිතව නිල නොවන කොන්දේසියක් දමා තිබුණි. ඒ අනුව සුලු පරිමාණ සිල්ලර හෝ තොග ව්‍යාපාරිකයකු නාඩු සහ සම්බා සහල් ලබා ගන්නේ නම් එම තොගයට සමාන කීරි සම්බා තොගයක්ද ලබා ගත යුතු බවටය. මේ පිලිබඳව පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී තිබුනු අතර පසුගියදා මේ කොන්දේසි ඉවත්කරන ලෙස පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද ඉල්ලීමට මෙම මොල් හිමියන් එකඟ වූ බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ   නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ  කලේය.

 

 

Exit mobile version