පසුගිය 27 දා සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමට අයත් සෙස්නා 172 (Cessna 172 ) වර්ගයේ ගුවන් යානය කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල් යායාට හදිසි ගොඩබැස්වීමක් කර නැති බවත්, සිදුවී ඇත්තේ යානය කටුනායක ගුවන්පථයට ගොඩබෑමට ගිය අවස්ථාවේ පාලනයෙන් ගිලිහී කඩාවැටීමක් බවත් ගුවන් නියමුවාගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ යැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
පසුගිය 27 දා වසීම් මව්කාල් (40) සහ මාරියා මව්ශල්‍යා (29) නම් ලෙබනන් ජාතික යුවල රැගෙන සීගිරියේ සිට කොග්ගලට යන අතර තුර දී ගුවන් යානය හදිසි අනතුරකට ලක් වී කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල්යායට කඩා වැටී තිබිණි.
යානයේ ප්‍රධාන නියමුවා වූ දිමුතු රුවන්පතිරණ පොලිසියට පවසා ඇත්තේ සීගිරියෙන් ගුවන් ගත කර ටික වේලාවකින්ම ගුවන් යානය තමාගේ පාලනයෙන් ගිලිහෙන බව නියමුවාට දැනී ඇති බවත් එබැවින් පාලක මැදිරියට දැනුම් දී හදිසි ගොඩබෑමක් සඳහා අවසර ලබා ගත් බත්ය.
ලබා දී ඇති උපදෙස් අනුව යානය කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීම සඳහා ඒ දෙසට ගමන් කරවීමේ දී යානය පාලනයෙන් ගිලිහී ඒකවරම වෙල්යායට පතිතවූ බවය.
පාලනයෙන් ගිලිහුනේ කුමක් නිසා දැයි තමන් නොදන්නා බවත් එය කාර්මික දෝෂයක් නිසා සිදුවී ඇති බව තමන් විශ්වාස කරන බවත් ගුවන් නියමුවා පවසා ඇතැයි පොලිසිය කියයි.
කෙසේ වෙතත් ගුවන් නියමුවා සහ ගුවන් සමාගම යම් කාරණා සැඟවීමේ උත්සාහයක යෙදනෙ බව තමන්ට පෙනී යන්නේ යැයි විමර්ශකයෝ පවසති.
ගුවන් නියමුවා බොහෝ තොරතුරු සඟවා කතා කරන බව පෙනුනත් සිවිල් ගුවන් සේවා අංශ විසින් කෙරන විමර්ශනයේදී බොහෝ දේ හෙලිවනු ඇතැයි ද පොලිසිය පවසයි.