කැබිනට් මණ්ඩලය නියෝජන කිරීම සඳහා සුදුසුකම් සැපිරූ එකම විද්වතෙක් හෝ ලංකාව තුළ නොසිටියේ දැයි මුස්ලිම් ජාතිකයන් කීප දෙනෙක් ඊයේ (24) කැබිනට් ඇමති විජිත හේරත්ගෙන් ඍජුවම ප්‍රශ්න කළේය.
ඒ අකුරණ ජමියතුල් උලමා මධ්‍යස්ථානයේ දී අකුරණ මුස්ලිම් ප්‍රජාව ඇමතිවරයා මුණ ගැසුන අවස්ථාවේදීය. ඔවුන් ට බරපතල ගැටලුවක් බව පෙනුනේ මුස්ලිම් ජාතිකයෙක් ලෙස වාර්ගික පදනමකින් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කැබිනට් මණ්ඩලය තුළ නොසිටීමය. සුදුසුකම් සහිත එකම මුස්ලිම් ජාතිකයෙක් හෝ ලංකාවේ සිටියේ නැතිදැයි අකුරණ මුස්ලිම් ප්‍රජාව ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන අවස්ථාව වන විට යම් කිසි කණ්ඩායමක් වාර්ගික අභිලාෂයන් ප්‍රකට කරන ආකාරයේ ෆේස් බුක් මෙහෙයුමක් මේ සම්බන්ධව අරඹා තිබිණි. විජිත හේරත් ඇමතිවරයාට අකුරණ දී ප්‍රශ්න කිරීමට ලක් වන්නේ ඒ පසුබිමේදී ය.
මුස්ලිම් වාර්ගිකත්වයට බර තබමින් අකුරණ පුද්ගලයින් කීප දෙනෙක් මුස්ලිම් කැබිනට් ඇමති වරයෙක් නැතිවීම සම්බන්ධව ඇමතිවරයාව දැඩිව ප්‍රශ්න කළේය. මෙම මුස්ලිම් ජාතිකයන් විමසුවේ කැබිනට් මණ්ඩලයට එක් මුස්ලිම් නියෝජනයක් හෝ නොමැතිවීමෙන් තේරුම් ගත යුත්තේ සුදුසුකම් සහිත විද්වතුන් ලංකාවේ නැති එක දැයි විමසා සිටි විට ඇමති විජිත හේරත් ඒ ප්‍රකාශය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසුවේය.
“ඒක වැරදයි ප්‍රකාශයක් නේ. 2004 මම සිංහල ඇමති. මුස්ලිම් දරුවන්ට හිජාබ් රෙදි කැබැල්ල දෙන්න ඕන කියලා කැබිනට් පත්‍රිකාව දැම්මේ සිංහල මමනේ. එහෙම නෑ අපි. ඒක තමයි වෙනස. මුස්ලිම් කෙනෙක්ම එතන ඉන්න ඕන නෑ…”
“අනික් පැත්තට බලන්න. අපිට අම්පාරෙ මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් ආවේ නෑ. හැබැයි අපි ජාතික ලයිස්තුවෙන් ආදම් බාවා පත් කළා. ඒක ගැන ඔයාලා කතා කරන්නේ නෑ. ඒ නිසා කැබිනට් මණ්ඩලයට මුස්ලිම් ජාතිකයෙක් පත් කිරීම අනිවාර්යයක් කියලා හිතන්න එපා. හිජාබ් රෙදි කෑල්ලට කැබිනට් පත්‍රිකාව දාපු මම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් නෙමෙයි. අපි එහෙම තමයි හිතන්නේ. ”
“අපි ආදම් බාව මුස්ලිම් නියෝජනයක් ලෙස ජාතික ලයිස්තුවෙන් පත් කළා. නියෝජ්‍ය කතානායකවරයා ලෙස මුස්ලිම් නියෝජනයක් පත් කළා. බස්නාහිර ආණ්ඩුකාර ධූරයට මුස්ලිම් කෙනෙක් පත් කළා. මධ්‍යම පාළාත ආණ්ඩුකාරවරයා සම්බන්ධීකරණය කරන්නේ මුතාලිෆ් සහෝදරයා. එහෙම පත් කිරිම් කරලා තියෙන්නේ. මුස්ලිම් කෙනෙක් ඕන කියන රවුෆ් හකීම්ලගේ උගුල්වලට අහු වෙන්න එපා. ඒ අය හදන්නේ නැවත ජාතිවාදය අවුස්සන්න. අපි කවදාවත් එහෙම නෑ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ” විජිත හේරත් ඇමතිවරයා පැවසුවේය.
” අපි කියන්නේ මුස්ලිම් කට්ටිය වෙනුවෙන් කැබිනට් එක මොනවාහරි ගේනකොට ආගම තේරුම් කරන දේට කවුරුහරි ඉන්න ඕන කියලා.” එක් වැසියෙකුගේ තවත් ප්රශ්නයකි.
” ඒකට ඕන තරම් කට්ටිය ඉන්නවා. ” ඇමතිවරයා සිනාසෙමින් කීවේය.
“එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ… අපට තිබ්බේ එහෙම සැකයක්. ” තර්ක කළ මුස්ලිම් ජාතිකයා සෑහීමකට පත්වන බව පෙනුණි.”
යළිත් විජිත හේරත් ඇමතිවරයා කීවේ සැකයක් තබා නොගන්නා ලෙසය.
” මමනේ ආගමික කටයුතු ඇමති. මමනේ හජ් යවන්නේ. හජ් එකට තෝරගන්නකොට මම තමයි කිව්වේ මේක කොළඹට විතරක් සීමා කරන්න එපා කියලා. මේක ගම්වලටත් යන්න ඕන… මුස්ලිම් දුප්පත් අයත් මක්කම යවන්න ඕන කියලා. මම හජ් කමිටුවට එහෙම මැදිහත් වෙද්දි ඒ හජ් කමිටුවේ හිටියේ ඔයාලගේ මුස්ලිම් අය. චෝදනා එල්ලවුනේ ඒ අයට. මම තමයි ඒකට මැදිහත් වෙලා එහෙම බෑ… හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්න ඕන කියලා කිව්වේ. අපි ප්‍රශ්න විසඳන්නේ එහෙමයි.” ඇමතිවරයා පැහැදිලි කළේය.
එහෙත් මේ කැකෑරෙමින් ඇති ජාතිවාදී මානසිකත්වය ඒ පරිසරය තුළ සමහන්ව නොතිබිණි. යළිත් අප දැක්කේ දැඩි ප්‍රශ්න කිරීම්ය.
පුද්ගලයා – “සර්… මේකයි… දැන් සර් කියන්නේ කවුරුත් මුස්ලිම් කට්ටිය කොලිෆයිඩ් නෑ?. කැබිනට් ඇමතිකමකට එහෙම සුදුසුකම් තියන අය කවුරුත් මුස්ලිම් අයගේ නෑ… ”
ඇමති – ” මේකයි. අපේ ස්ථාවරය මේකයි. මේක තමයි අපි වැඩ කරන විදිහ. ඔය විදිහටම හිතන්න එපා.”
පුද්ගලයා – “මේක නිහතමානී ඉල්ලීමක්. ”
ඇමති – “ඔබ සම්පූර්ණයෙන් වැරදියි. වැරදි දේට ෆයිට් කරන්න එපා. ඒක ඉතාම වැරදියි.”
පුද්ගලයා – ” මම ෆයිට් කරන්නේ නෑ. කරන්නෙ ඉල්ලීමක්. අපි ඉල්ලන්නේ මුස්ලිම් කැබිනට් ඇමති කෙනෙක්. අපි කැරළි ගහනවා නෙමෙයි. මේක නිහතමානී ඉල්ලීමක්.”
ඇමති – ” ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. ඔබට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්නත් පුලුවන්. අපි ඔබට කියන්නේ ආගම්වාදය හෝ ජාතිවාදය අපි ලඟ නෑ. අපි සියලුම ජාතීන්ගේ ආගමිකයන්ගේ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඒ ගැන සහතික වෙනවා” ඇමතිවරයා ප්‍රකාශ කළේය.







