වත්තේගම අටලාහගොඩ ප්‍රදේශයේ දී පසුගිය 03 දා රාත්‍රී 11.00 ට පමණ කපා කොටා ඝාතනය කළ වත්තේගම අමිල මාළු වෙළෙඳසලේ මිහිකරු වූ සංජීව වසන්ත කුමාරගේ අවසන් කටයුතු අද (06) පොලිසියේ දැඩි රැකවල් මධ්‍යයේ සිදු කෙරුනේය.
අමිල ගේ ඝාතනයත් සමග ප්‍රදේශයේ පිරිස් දැඩි ලෙස නොසන්සුන් වූ අතර ඔහුගේ මරණයට සැක කරනු ලබන, මින් පෙර ඔහුට මරණීය තර්ජනය එල්ල කරමින් ඔහුව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් පාතාලයට ලබා දුන් බව කියන ප්‍රදේශයේම මාළු ව්‍යාපාරිකයෙකුගේ වෙළෙඳසලට ඊයේ එම පිරිස් කඩා වැදී වෙළෙඳසල විනාශ කරනු ලැබුවේය.
අද මරණය සම්බන්ධ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මහජන සාමය කඩවන ආකාරයේ නොසන්සුන්තාවයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා පොලිසිය තෙල්දෙණිය අධිකරණයෙන් අධිකරණ තීන්දුවක් ලබාගෙන තිබිණි.
දේහය රැගෙන නගරය ඔස්සේ ගමන් නොකරන ලෙස ද පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබිණි. එහෙත් පිරිස වත්තේගම නගරය හරහා දේහය රැගෙන යෑමට උත්සාහ කළත් පොලිසිය එය වළක්වනු ලැබුවේය. පසුව විකල්ප මාර්ගයක් ඔස්සේ දේහය රැගෙන ගොස් නාරන්දණ්ඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකළහ.
මරණය සිදුවූ ආකාරය
මත්ස්‍ය ව්‍යාපාර කටයුතු නිමකර යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටි සංජීව වසන්ත කුමාර ඝාතනය කර තිබුණේ ඔහු ගේ නිවස ඉදිරිපිටදීමය.
මරුති වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඝාතනය කිරීමට පෙර ඔවුන් සංජීවට මිරිස් කුඩු ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබිණි.
ඝාතනය වූ සංජීවට තවත් මාලු ව්‍යාපාරිකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වී තිබුණු බව ඔහුගේ ඥාතිහූ කීහ.
රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත ඔහු ඝාතනය කරන්නට සිටින බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් සංජීව විසින් මෙයට මාසයකට පමණ ඉහත දී තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව ඔවුහූ පැවසූහ.
වත්තේගම පොලීසියට අදාළ පැමිණිල්ල කිරීමෙන් තොරතුරු සංජීවට ඝාතනය කිරීමට උත්සාහ කරන මාළු ව්‍යාපාරිකයා වෙත ලැබෙනු ඇතැයි සිතා සංජීව එම පැමිණිල්ල තෙල්දෙණිය පොලීසියට කළ බව ඥාතිහූ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මෙම ඝාතනය ගාල්ල දකුණු පළාතින් පැමිණි පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක් වූ සංජීව කුමාර ගේ ඥාතීන් ලබාදුන් තොරතුරු පදනම් කර ගනිමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට වත්තේගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.







